hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2024 ජූනි 27, පෙ.ව. 6:41



බොලීවියාවේ ඊයේ (ලංකාවේ වෙලාවෙන් අද අලුයම් කාලයේ) සිදුවූ හමුදා කුමන්ත්‍රණ උත්සාහයක් ව්‍යර්ථ කර ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඊයේ දහවල් එරට අගනුවර ලා පැස් හි ප්‍රධාන චතුරශ්‍රය වන ප්ලාසා මුරියියෝ වෙත පැමිණි හමුදා සහ මිලිටරි පොලිස් කණ්ඩායම් එය අත්පත් කරගත්තා.

මේ අවස්ථාවේ ජනාධිපති කාර්යාලය වෙත සන්නද්ධ රථකයින් කඩාවැදීමට ද උත්සාහ කළ බව වාර්තා වුණා.

හිටපු ජනාධිපති ඊවෝ මොරාලෙස් වහා සිය X ගිණුම හරහා කියා සිටියේ කුමන්ත්‍රණයක් සිදුවන බවයි. මේ අතර කුමන්ත්‍රණය මෙහෙයවන ජෙනරාල්වරයා වූ හුවාන් හොසේ සුන්යිගා “අප අපගේ නිජබිම යළි හිමිකරගන්නවා” යයි මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් ජෙනරාල්වරයා ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙද්දී එහි දොරටුව අසළට පැමිණි ජනාධිපති ලුවී අර්ස ඇතුළු පිරිසක් ඔහුගේ මග අහුරාගත්තා. එතැන සිදුවූ වාදයකින් පසු ජෙනරාල්වරයා ආපසු ගමන් ගත්තා.

මේ අතර ආණ්ඩුවට හිතවාදී ජනතාව වීදිබැස විරෝධතා දක්වන්නට වූ අතර ස්වල්ප වෙලාවකින් කුමන්ත්‍රණය අසාර්ථක වන බව පෙනෙන්නට වුණා. හමුදාවට යළි සිය බැරැක්ක කරා යන ලෙස යුධ හමුදාවේ නව හමුදාපතිවරයා නියෝග දුන්නා. මේ අතර විරෝධතාකරුවන් හමුවේ හමුදා කණ්ඩායම් චතුරශ්‍රය හැර ගියා.

ඉන් පැයකට පමණ පසු ජෙනරල් සුන්යිගා අත්අඩංගුවට ගන්නා ලදැයි බොලිවියානු මාධ්‍ය කියා සිටියා.

බොලීවියාව දකුණු ඇමරිකාවේ සම්පූර්ණයෙන් ගොඩබිමින් වට වූ රටක් වුවද ලෝක බලවතුන් ගේ අවධානය එදෙසට නිරන්තරයෙන් යොමුව තිබෙනවා. එහි විශාල ලිතියම් නිධියක් තිබීම ඊට හේතුවයි. මේ අතර චීනයේ ආධාර සහිතව සින්ක් පිරිපහදුවක් ඉදිකිරීමට ද පෙබරවාරියේ එකඟතාවයක් ඇති වුණා.

බොලීවියාව 2006 සිට පාලනය කළේ සමාජවාදී නායකයකු වන ඊවෝ මොරාලෙස් විසින්. 2019 දී මතුවූ අර්බුදයක් අවස්ථාවේ ඔහුට බලය අහිමිවුණා. එය කුමන්ත්‍රණයක් බවයි මොරාලෙස් සඳහන් කළේ. අන්තර්වාර පාලනයකින් අනතුරුව 2020 ඔක්තෝබරයේ පවත්වන ලද ජනාධිපතිවරණයෙන් යළිත් ඔහුගේම පක්ෂයේ ලුවී අර්ස ජයගත්තා.