hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූලි 30, ප.ව. 2:14



වෙනෙසුවේලාවේ ජනාධිපතිවරණයෙහි ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් එරට විපක්ෂය ඊයේ කරාකස් අගනුවර සහ වෙනත් ඇතැම් ප්‍රදේශයන් හි විරෝධතා සංවිධානය කර තිබුණා.

එරට විපක්ෂය සඳහන් කරන්නේ ඡන්ද ගණන් කිරීමේදී වංචා සිදුවූ බවයි. තම අපේක්ෂකයා සියයට 70 ක් පමණ ඡන්ද ලබාගත් බව විපක්ෂය පවසනවා. නිල ප්‍රතිඵල අනුව මදුරෝ සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වූ එඩ්මුන්ඩෝ ගොන්සාලේස් සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.

ඊයේ සන්ධ්‍යාවේ සහ රාත්‍රියේ වෙනෙසුවේලාවේ සිදුවූ විරෝධතා අතරතුර එරට ජාතික මුරභට හමුදාවේ ඇතැම් සාමාජිකයන් ද විරෝධතාකරුවන්ට සහය පළකරේ යයි සඳහන් වුණා. කෙසේ වෙතත් එරට වෙලාවෙන් මධ්‍යම රාත්‍රිය පසුවී ස්වල්ප වෙලාවකින් තත්ත්වය සාමකාමී වුණා. අද නැවත උද්ඝෝෂණ ඇරඹීමේ සූදානමක් වේ යයි වෙනෙසුවේලාවෙන් වාර්තා වනවා.