hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 12, ප.ව. 11:12



සිරියාවේ මස්යෆ් ප්‍රදේශයේදී සැප්තැම්බර් 8 වනදා එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට සමගාමීව ඊශ්‍රායල විශේෂ බලකා එම ප්‍රදේශයට ගොඩබැස ඉරාන ජාතිකයන් කිහිපදෙනකු අල්ලාගත් බවට මාධ්‍ය වාර්තා කිහිපයක් කියා සිටිනවා.

ඇතැම් හීබෲ මාධ්‍ය ආයතන සහ තුර්කියේ සිට ක්‍රියාත්මක වන සිරියානු විපක්ෂ මාධ්‍ය ආයතනයක් මේ පිළිබඳ වාර්තා පළකර තිබෙනවා.

මෙම වාර්තා අනුව ඉරිදා දිනයේ එල්ල වූ ප්‍රහාරය අතරවාරයේදී හෙලිකොප්ටර් මගින් පැමිණි විශේෂ බලකා භටයින් කඹ මගින් පහළට බැස විද්‍යාගාර සංකීර්ණයකට ඇතුල් වී එහි වූ ඉරාන ජාතිකයන් කිහිපදෙනකු අල්ලාගෙන තිබෙනවා.

මෙම විද්‍යාගාරයන් වෙත ඉරිදා එල්ල වූ ප්‍රහාරයන්හිදී 14 දෙනකු මියගොස් 43 දෙනකු තුවාල ලැබූයේ යයි සිරියානු බලධාරීන් මින් පෙර වාර්තා කර තිබුණා.

සිරියාවට පසුගිය කාලයේ එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එහි ගුවන් ආරක්ෂණ පද්ධති දුර්වල ව තිබීම මෙම ප්‍රහාරයන් පහසු කිරීමට හේතු වූ බවයි කියැවෙන්නේ.

මෙම විද්‍යාගාරයන් හි රසායන අවි සහ මිසයිල නිපදවෙන බවට කලක පටන් චෝදනා එල්ල වෙමින් තිබුණා.

මස්යෆ් ප්‍රදේශය වයඹදිග සිරියාවෙහි හමා ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා. එය ලෙබනනයට උතුරින් පිහිටි ප්‍රදේශයක් වන අතර උතුරුදිග ඊශ්‍රායල දේශසීමාවේ සිට කිලෝමීටර් 200 ක් පමණ ඈතින් පිහිටා තිබෙනවා. සිරියානු වෙරළෙහි සිට එම ප්‍රදේශයට කිලෝමීටර් 30 ක් පමණ දුරක් වනවා.

ප්‍රහාර එල්ල වන අවස්ථාවේ ඊශ්‍රායල ගුවන් යානා විසින් එම ප්‍රදේශයට එන මාර්ගවලට පහරදුන් බවත් එමගින් සිරියානු හමුදා එහි පැමිණීම ඉඩාල වූ බවත් වාර්තා වනවා. එමෙන්ම ඊශ්‍රායල ගුවන් යානා ප්‍රදේශයේ පියාසර කරන අතර විශේෂ බලකා ගොඩබැස්ස බවයි කියැවෙන්නේ.