hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 19, ප.ව. 12:43



ඊයේ අලුයම රුසියාවේ තරෝපිත්ස් නගරය අසළ වන අවි ගබඩාවක පිපිරුම් රැසක් සිදුවුණා. යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙය සිදුවූ බවයි යුක්‍රේනය පවසන්නේ. රුසියානුවන් ප්‍රකාශ කළේ ඩ්‍රෝනවලට පහරදුන් අවස්ථාවේ විසුවූ කැබලි වැටීමෙන් මෙම සිදුවීම වූ බවයි.

මෙම අවි ගබඩාවෙහි රුසියානු ඉස්කැන්දර් මිසයිල​, ගයිඩ් බෝම්බ​, මිලි මීටර් 122 උණ්ඩ සහ ගුවන් යානා නාශක උණ්ඩ ආදී විවිධ උණ්ඩ තොගයක් වූ බව විශ්වාස කෙරෙනවා. ඇතැම් යුක්‍රේන නිලධාරීන් කියා සිටියේ උතුරු කොරියාවෙන් ලැබුණ මිසයිල ද මෙහි වූ බවයි.

මෙවන් ප්‍රහාරයක් එල්ල කළ හැකි වූයේ කෙසේද යන කරුණ පිළිබඳ විවිධ මත පළවී තිබුණා. ඇතැම්විට රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධති පසුකර යාමට කිසියම් උපායක් යොදාගන්නට ඇත යන්න එක් අදහසක්. තවද​, ගුවන් ආරක්ෂණ පද්ධතියට දරාගත නොහැකි තරම් ඩ්‍රෝන ප්‍රමාණයක් එල්ල වන්නට ද ඇති බව තවත් අදහසක් වනවා.

කෙසේ වෙතත් ඩ්‍රෝන ප්‍රහාරයකින් සුරක්ෂිතව ගබඩා කර ඇති අවි පිපිරීම ද ප්‍රශ්නකාරී කරුණක්ව තිබෙනවා. කිසියම් අවි ප්‍රමාණයක් අනාරක්ෂිත ලෙස පිටත ස්ථානයක අසුරා තිබුණේද යන ගැටළුව මෙහිදී මතුවී තිබෙනවා.