hit counter

2024 සැප්‍තැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:08



නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණය අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අද පෙරවරු 8:00 සිට සවස 4:00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී යි.

වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග බිමට පිවිසි ජනාධිපතිවරණය ලෙස ඉතිහාසයට එක්වූ මෙවර මැතිවරණයට අපේක්ෂකයන් 38 දෙනෙක් ඉදිරිපත්ව සිටිනවා.

ඔවුන් අතරින් අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට ඡන්දදායකයන් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂයකට වැඩි පිරිසක් (171,40,354) සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

පරිශ්‍ර 49කදී ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713කදී පස්වරු 4:15 සිට ඡන්ද ගණන් කිරීම් ආරම්භ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙවර මැතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීමට පසුගිය 4,5,11 සහ 12 යන දිනයන් ලබා දී තිබුණා.

පිළිගත් දේශපාලන පක්ෂ 22ක්, වෙනත් දේශපාලන පක්ෂ 1ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 16 දෙනෙකු ඇප මුදල් තැන්පත් කළ අතර ස්වාධීන අපේක්‍ෂකයෙකු වූ අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා පසුගිය අගෝස්තු මස 22 වැනිදා අභාවප්‍රාප්ත වුණා.

අද (21) පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අතර සියලුම ඡන්ද මධ්‍යස්ථානවල මැතිවරණයට අදාළ සකස් කිරීම් සිදුකෙරෙනු ඇති.

ඒ අනුව දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ජන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා යැවීමේ කටයුතුද අරඹා ඇති බව සඳහන්.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව විසින් දින දෙකක නිහඬ කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් ජනමතයට බලපෑම් සිදු කරමින් පවතින බවටයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ.

පසුගිය 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12:00න් පසුව අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම තහනම් කර තිබියදී දිගින් දිගට ම සමාජ මාධ්‍ය ඔස්සේ පක්ෂාග්‍රාහී පුවත් හුවමාරු වෙමින් තිබෙන බව ද එම සංවිධාන පෙන්වා දී ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: