hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:06



පරිභෝජන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මේ වන විට රට සතුව පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැනුම් දුන්නා.

මේ, අනුව මහජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ ඔහු ඉදිරි වසර සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව සැලසුම් කරන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

ඒ, අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ඊයේ (26) පැවති සාකච්ඡාවේදීයි.

මෙම ප්‍රයත්නයන් සඳහා පහසුකම් සැලසීම සඳහා තමාගේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට ජනාධිපතිතුමා වැඩිදුරටත් සහතික විය.

එමෙන්ම ඉන්දීය ආධාර මත ලැබුණු සූර්ය පැනල පිරිවෙන් 800කට බෙදාදීමේ සැලැස්මක් සකස් කරන ලෙසට ජනාධිපතිතුමා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මෙම මුලපිරීම සුමටව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අමාත්‍යාංශයෙන් පැහැදිලි මාර්ග සිතියමක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළා.

ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් විදේශ ණය මගින් ලබා දෙන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන් අතර විදේශ ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමේ අරමුණින් මාස තුනක් ඇතුළත ඒවා අනුමත කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට සැලසුම් කරන බව ඔහු නිවේදනය කළා.

ඒ, අනුව මෙම ක්‍රියාවලිය හරහා විදේශ ආධාරවලින් ලැබෙන ව්‍යාපෘති වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ හැකි බවත්ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මේ අතර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ සහ ගමට මුදල් යොමු කිරීම සහතික කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ප්‍රවේශය ග්‍රාමීය ආර්ථිකය ශීඝ්‍රයෙන් ශක්තිමත් කරන බව සඳහන් කළා.

මෙම ප්‍රයත්නයන්හිදී රාජ්‍ය නිලධාරීන් විසින් ඉටු කරනු ලබන අතිවැදගත් කාර්යභාරය පිළිබඳව විශ්වාසය පළ කළ ඔහු, මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු දෙනා කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි තම අපේක්ෂාව බවද සඳහන් කළා.

මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහභාගී විය. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, සහ තවත් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: