2024 ඔක්තෝබර් 29, පෙ.ව. 11:43
සුප්‍රකට දමිළ චිත්‍රපට නළු “තලපති” විජේ විසින් අරඹන ලද තමිලාහ වෙට්රි කලහම් (දමිළ විජයග්රහණ ෆෙඩරේශනය) පක්ෂයෙහි මංගල රැළිය පසුගිය ඉරිදා පවත්වනු ලැබුණා.
මෙම රැළියට දැවැන්ත ජනකායක් එක්ව සිටි අතර ඇතැම් ඇස්තමේන්තු අනුව එම සංඛ්‍යාව ලක්ෂ හතක් පමණ වුණා. එතරම් විශාල ජනකායක් එක්ව සිටීම දේශපාලන විචාරකයන් බොහෝදෙනකු පුදුමයට පත් කළා.
එමෙන්ම එම රැළියේදී තලපති විජේ විසින් කරන ලද ඉතාම විවේචනාත්මක වූ කතාව ද බොහෝදෙනාගේ අවධානයට හේතු වුණා.
ඔහු සඳහන් කළේ තම පක්ෂය තමිල්නාඩු දේශපාලනයට නැවුම් බලාපොරොත්තුවක් එක්කරන බවයි. දමිළ ජනතාවගේ අභිවෘද්ධිය තම අරමුණ බවත්, ඒ සඳහා කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.
තමිල්නාඩුවේ පරිපාලන කටයුතු දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සිදුවිය යුතු බව විජේ අවධාරණය කළා. කෙසේ වෙතත් පවතින ද්‍රවිඩියානු දේශපාලනය විසින් ජනතාවට අවශ්‍ය දේ ලබා නොදෙන බවත් එම දේශපාලනය වෙනස් විය යුතු බවත් ඔහු කියා සිටිනවා.
තම දේශපාලන තරගකරුවා ලෙස ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය සලකන බව කියන ඔහු තම මතවාදී තරගකරුවා වන්නේ භාරතීය ජනතා පක්ෂය බව කියා සිටිනවා. ඇතැම් පක්ෂ විසින් කරන ජනතාව බෙදන දේශපාලනයට තමන් විරුද්ධ බවයි ඔහු සඳහන් කරන්නේ.
තලපති විජේගේ රැළියට විශාල ප්‍රතිචාරයක් ලැබීමත් සමග ඔහුගේ දේශපාලන අනාගතය පිළිබඳ දැඩි අවධානයක් තමිල්නාඩුවේ ඇතිවී තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ පක්ෂයෙහි විජේ හැරුණු විට ජනප්‍රිය චරිතයක් මෙතෙක් දකින්නට නැහැ. එමෙන්ම එහි දේශපාලනයෙහි පළපුරුදු අය ද එතරම් දකින්නට නැහැ. එහෙයින් පක්ෂය බිම් මට්ටමේ ස්ථානගත වීමේදී කෙතරම් සාර්ථක වේදැයි නිශ්චිතව කිව නොහැකියි.
විජේ මෙම පක්ෂය පිහිටුවා ගත්තේ මෙම වසරේ පෙබරවාරියේදී යි. ඔහු එකළ අවධාරණය කළේ තම ඉලක්කය 2026 ප්‍රාන්ත සභා මැතිවරණය බවයි. කෙසේ වෙතත් ඒ වනවිට තමිල්නාඩු දේශපාලනය තුළ ඔහුට සැලකිය යුතු බලයක් ගොඩනගාගත හැකිවේද යන්න අනාගතයේදී තීරණය වනු ඇති බවයි දේශපාලන විචාරකයන් බොහෝ දෙනකුගේ අදහස වී ඇත්තේ.
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:24
2024 ඔක්තෝබර් 29, පෙ.ව. 11:15
2024 ඔක්තෝබර් 28, ප.ව. 12:00
2024 ඔක්තෝබර් 27, ප.ව. 11:59
2024 ඔක්තෝබර් 26, ප.ව. 2:05