hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2024 නොවැම්‍බර් 10, පෙ.ව. 12:06



බොලිවුඩයේ ජනප්‍රියම අඹුසැමි යුවළක් වන අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි දෙදෙනාගේ විවාහය දැන් ටික කලෙක සිටම මාධ්‍ය තූළ ප්‍රධාන මාතෘකාවක් වී ඇති බව රහසක් නොවෙයි. මාධ්‍ය තුළ පළවෙමින් ඇති ආරංචිවලින් පැවසෙන්නේ ඔවුන් දෙදෙනාගේ යුග දිවියේ ප්‍රශ්න මතු වී ඇති බව යි. මේ දෙදෙනා දික්කසාද වී ඇති බවටත් කතන්දර පැතිරෙමින් තිබෙනු දකින්න ලැබෙනවා.

අභිෂේක් සහ අයිශ්වර්යා අතර ප්‍රශ්න ඇතිවීමට හේතුව කුමක් ද යන්න ගැනත් පසුගිය කාලයේ විවිධ කතා පළ වුණා. ඇතැම් කටකතාවලින් කියැවුණේ අයිශ්වර්යා සහ අභිෂේක්ගේ මව ජයා බච්චන් අතර ගැටුමක් මෙයට හේතුව බව යි. කෙසේ නමුත් පසුගිය දිනවල පැතිරුණු තවත් කතාවකින් කියැවුණේ අභිෂේක් සහ නිම්රත් කවුර් නමැති නිළිය අතර ඇති වූ අනියම් සම්බන්ධයක් මෙහි පසුබිමේ තිබෙන බවකුයි. නිම්රත් කවුර් යනු කලකට පෙර අතිශයින් කතාබහට ලක් වූ ‘ලන්ච්බොක්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළ නිළියයි. මෙහි ඇය රඟපෑවේ වසර කිහිපයකට පෙර ජීවිතයෙන් සමුගත් සුප්‍රකට නළු ඉර්ෆාන් ඛාන් සමඟයි.

අභිෂේක් සහ නිම්රත් මෙයට කලකට පෙර ‘දස්වි’ නමැති චිත්‍රපටයක එකට රඟපෑවා. එම චිත්‍රපටය තිරගත වුණේ 2022 වසරේ යි. ඒ කාලයේ ඔවුන් අතර ඇසුරක් ඇති වූ බවත්, අභිෂේක් සහ අයිශ්වර්යා අතර ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත්තේ එයින් පසුව බවත් සමහර කටකතාවලින් පැවසෙනවා.

අභිෂේක් සහ අයිශ්වර්යා දෙදෙනාගේ විවාහය තුළ ගැටලු මතු වී ඇති බවක් මුලින්ම කියැවෙන්නට ගත්තේ ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ අවස්ථාවන්ට එකට සහභාගි නොවන ආකාරයක් දකින්නට ලැබීමත් සමඟයි. නිදසුනක් ලෙස මෙයට මාස කිහිපයකට පෙර පැවති මුකේෂ් අම්බානිගේ පුත් අනන්ත් අම්බානිගේ විවාහ උත්සවයට ඔවුන් සහභාගි වූයේ වෙන වෙනම බවක් පැවසුණා. එමෙන්ම අයිශ්වර්යා ඇයගේ මඟුල් මුද්ද නොපලඳින බවටත් කටකතා පැතිරුණා.

දෙදෙනා දැනටමත් දික්කසාද වී ඇති බවටත් කටකතා පැතිරෙද්දි අභිෂේක් එක් අවස්ථාවක ඒ ගැන පැහැදිලි කිරීමට කටයුතු කර තිබුණා. රූපවාහිනී නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු සිය මංගල මුදුව පෙන්වමින් පැවසුවේ තමා තවමත් විවාහක බවයි. තමාත්, අයිශ්වර්යාත් ගැන මෙවැනි කටකතා පැතිරවීම පිළිබඳ ඔහු කතා කර තිබුණේ මහත් කනස්සල්ලෙන් යුතුව යි.

“මේ වගේ කටකතා ගැන මට කිසිවක් පැවසීමට නැහැ. නමුත් කිසිදු සෙවිල්ලකින් බැලිල්ලකින් තොරව මිනිසුන් මේ විදිය‍ෙහ් කටකතා පැතිරවීම ගැන මම කනගාටු වෙනවා” යයි ද ඔහු එහි දී පවසා තිබුණා.

අභිෂේක් සහ නිම්රත් සම්බන්ධයෙන් කටකතා පැතිරෙද්දී නිම්රත් ද ඒ ගැන අදහස් දක්වා තිබෙනු දැකිය හැකි වුණා. ඇය පවසා තිබුණේ තමුන් මේ කටකතා ගැන මොනවා කිව්වත් මිනිසුන් ඒවා ගණන් නොගනු ඇති බවයි. “මම මොනවා කිව්වත් ඔවුන් කියනු ඇත්තේ ඔවුන්ට වුවමනා දේ යි. එවැනි කටකතා නතර කරන එක කළ හැකි දෙයක් නෙවෙයි. ඒ නිසා මම පාඩුවේ මගේ වැඩකටයුතු ගැන අවධානය යොමු කරන්න කැමතියි”. මෙයින් නිම්රත් කියන්නට හදන්නේ ඇය සහ අභිෂේක් අතර සම්බන්ධයක් නොමැති බව යි.

නිම්රත් තවමත් තනිකඩ දිවියක් ගත කරන කෙනෙකුවීමත් මෙම කටකතාවලට ගැම්මක් ලබා දෙන කාරණයක් විය හැකියි. විවාහක පිරිමියකු සමඟ සම්බන්ධයක් ඇති කර ගැනීම ගැන බොහෝදෙනා සමාජ මාධ්‍ය තුළ ඇයට දොස් පවරා තිබෙනුත් දැකිය හැකි වුණා. මේ අතර ඇය වෙනුවෙන් පෙනී සිටි ඇතැමුන් පවසා තිබුණේ ඒ ආකාරයෙන් ඇයට චෝදනා කිරීම අසාධාරණ බවයි.

මෙයට පෙරත් නිම්රත් හා ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධ කරමින් කතන්දර පැතිර තිබුණා. ඒ අතරින් වඩාත් අවධානයක් දිනාගත්තේ ඇය සහ ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රවි ශාස්ත්‍රි අතර සම්බන්ධයක් පැවති බවට පැතිරුණු කටකතායි. ඔවුන් වසර දෙකක පමණ කාලයක් මේ ආකාරයෙන් ඇසුරු කළ බවක් මෙම කටකතාවලින් පැවසුණා. කෙසේ නමුත් නිම්රත් මෙන්ම රවි ශාස්ත්‍රි ද මෙම කටකතා ප්‍රතික්‍ෂේප කර තිබුණා.

පසුගිය නොවැම්බර් 1 වැනි දින අයිශ්වර්යා සිය 51 වැනි උපන්දිනය සැමරුවා. නමුත් අභිෂේක් හෝ බච්චන් පවුලේ වෙනත් කිසිවෙකු හෝ ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටු තුළින් ඇයට සුබ පතා නොතිබුණු බවකුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. බොහෝදෙනෙකු මෙය සලකන්නේ අභිෂේක් සහ අයිශ්වර්යා ඉදිරියේ දී වෙන් වනු ඇති බව නැවතත් තහවුරු කරන්නක් හැටියට යි.

අභිෂේක් – අයිශ්වර්යා යුග දිවියට මේ වනවිට වසර 17ක් වෙනවා. ඔවුන් විවාහ වුණේ 2007 වසරේයි. මේ දෙදෙනාට ආරධ්‍යා නමින් 12 හැවිරිදි දියණියක ද සිටිනවා.

(උපුටා ගැනීමකි)

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: