hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 17, ප.ව. 5:17



යුක්‍රේනයේ කීව් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක් වෙත අද උදෑසන දැවැන්ත රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වුණා.

එරට වෙලාවෙන් උදෑසන 6.30 සිට 7.15 දක්වා කාලය තුළ එල්ල වූ ප්‍රහාරයේ දී කීව්, ක්‍රොපිව්නිත්ස්කි, රිව්නේ, ඉවානෝ-ෆ්‍රන්කිව්ස්ක්, චර්කසී, ද්නීප්‍රෝ, විනිත්සා, ක්‍රිවි රීහ්, ඔඩේසා සහ සපරෝශියා යන නගරවල සහ හ්මෙල්නිත්ස්කි සහ වොලින් පළාත්වල ඉලක්ක වෙත ප්‍රහාර එල්ල වූ බව වාර්තා වුණා. යුක්‍රේන බලශක්‍ති පද්ධතිය මෙහි මූලික ඉලක්කය වූ බවයි සඳහන් වන්නේ.

රුසියානු මිසයිල 120 ක් සහ ඩ්‍රෝන 90 ක් ප්‍රහාරයට යොදාගත් බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළා. ඔහු පැවසූයේ එයින් 140 ක් පමණ විනාශ කිරීමට තම ගුවන් යානා සහ ගුවන් ආරක්ෂණ පද්ධති සමත් වූ බවයි. සුකෝයි, මිග් මෙන්ම F-16 යානා ද මේ සඳහා ගුවන් ගත කරන ලද බව ඔහු කියා සිටියා.

මෙම ප්‍රහාරයන් හේතුවෙන් පස්දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇති බව යුක්‍රේන මාධ්‍ය වාර්තා කර තිබුණා.