hit counter

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

2025 ජනවාරි 07, පෙ.ව. 12:06



මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මෙරට දිනපතා සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන බව රථවාහන පාලන සහ මාර්ග දිසාව සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

ඊයේ (06) පැවති රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

බස් රථ රියදුරන්ගේ නොසැලකිලිමත් ධාවනය සහ අපරික්ෂාකාරීව අධික වේගයෙන් රිය පැදවීම මගින් 2023 වර්ෂයේදී 332ක්ද, 2024දී 198 දෙනෙක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එම සිදුවන අනතුරුවලින් ශ්‍රී ලංකා පොලීසිය විසින් ගිය වසරේදී බස් රථ රියදුරන් 60,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

මීට අමතරව මින් ඉදිරියට බස් රථ ධාවනයකදී වාහනය හැසිරවීම සඳහා අනවශ්‍ය ලෙස කොන්දොස්තරවරුන් දෙදෙනෙක් අවශ්‍ය නොවන බවත්, රථයේ ඉදිරිපස අංක තහඩු හැර වෙන කිසිදු ඡායාරූපයක් හෝ නවීකරණයක් ඇලවීමට නොහැකි බවත් පවසමින් ඔහු කියා සිටියේ බස් රථයේ ඉදිරි වාහුමාව සම්පූර්ණයෙන් නිදහස් කර තිබිය යුතු බවයි.

බස් රථ මෙන්ම ත්‍රීරෝද රථයන්හි කලාත්මක අලංකරණයට සවිකර ඇති සියලුම උපාංග වහාම ඉවත් කරන ලෙසත් ඉන්දික හපුගොඩ මහතා එහිදී පෙන්වාදුන්නා.

එමෙන්ම මෝටර් වාහන පනතට අනුව බස් රථ සහ තීරෝද රථ හිමියන්ට පමණක් නොව මාර්ගයේ භාවිතා කරන සෑම රථ වාහනයකටම එකම නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව සියලුම පොලිස් නිලධාරීන්ට සහ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන්ට චක්‍රලේඛයට අනුව සඳහන් වන නීතියේ ප්‍රතිපාදන සහ එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කර තිබෙන බවද පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියා.

කෙසේවෙතත් මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන විසින් මාර්ගයේ ධාවනය වන වාහන නවතා රථ පරීක්ෂා කරමින් එහි අලංකරණය වීමට සවිකර තිබූ සියලුම අමතර උපාංග ඉවත් කරන අයුරු දක්නට ලැබුණා.

ඒ සම්බන්ධයෙන් ජනතාව කියා සිටින්නේ, වාහනවල මගීන්ට අපහසුවක් වන ඕනෑම අලංකරන උපාංග ඉවත් කළද පිළිවෙලකට තබාගෙන ඇති සිය රථවල ආගමික සංකේත පවා ඉවත් කිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් බලාපොරොත්තු නොවූ බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: