hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 02, පෙ.ව. 12:10



ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දැඩි කණස්සල්ල සහ පිළිකුල වත්මන් රජය වෙත පළ කරන්නෙමු.

සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගි වීමට මින් ඉදිරියට අවසර ලබා දෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත හිමි ජනමාධ්‍යවේදීන්ට පමණක් බව 2025-04-29 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශ කොට ඇත.

රජයේ වගකිව යුතු ඇමතිවරයෙකු ලෙස කළ මෙම ප්‍රකාශය රජයේ නිල ප්‍රකාශයක් ලෙස අප විසින් සලකනු ලබන්නෙමු.

අමාත්‍යවරයාගේ එම උද්දච්ඡ ප්‍රකාශය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති ඇති අයිතියට කළ තර්ජනයක් ලෙසත්, රජයට හීලෑ ජනමාධ්‍යවේදීන් පිරිසක් පමණක් ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා කැඳවීමට ගත් නීච උත්සාහයක් ලෙසත්, මාධ්‍ය මර්ධනය සඳහා මින් පෙර රජයන් කටයුතු කළ ආකාරය වත්මන් රජය යටතේද ක්‍රියාත්මක වීමක් ලෙසත් ලංකාවේ ජනමාධ්‍යයන්හි සහ මාධ්‍යවේදීන්ගේ නිදහස අගයන වගකිවයුතු මාධ්‍ය සංවිධානයක් ලෙස අප සලකන්නෙමු.

ලංකාවේ රජය මගින් මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම මගින්ම ජනමාධ්‍යවේදීන් හීලෑ කරගැනීමක් මෙන්ම රජය මාධ්‍යවේදය වෙත තම බලාධිකාරය පැටවීමක් බවත් අපගේ විශ්වාසයයි.

එබැවින් රට තුළ නිදහස් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට අනුබල දෙන වගකිවයුතු රජයක් යටතේ සිදුවිය යුත්තේ හැඳුනුම්පත් නිකුත් කිරීම ස්වාධීන ආයතන ව්‍යුහයක් වෙත පවරා සියළු මාධ්‍යවේදීන් වෙත තම කැබිනට් රැස්වීම ආවරණයට අවසර ලබා දී මාධ්‍යවේදීන් විමසන ප්‍රශ්න වලට අභීතව පිළිතුරු සැපයීමයි.

එබැවින් මාධ්‍ය නිදහසට තර්ජනයක් වීමට වත්මන් රජය ගන්නා මෙම උත්සාහයන් පරාජය කිරීමට එවන්නැයි මාධ්‍ය නිදහස අගයන සියළු පාර්ශවයන්ගෙන් මෙන්ම රටේ ජනතාවගෙන් ද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අප ඉල්ලා සිටින්නෙමු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: