hit counter

2025 මැයි මස 03 වන සෙනසුරාදා

2025 මැයි 02, ප.ව. 1:14



ඊයේ පවත්වන ලද රන්කෝර්න් සහ හෙල්ස්බි පාර්ලිමේන්තු ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයේදී සහ එංගලන්තයේ පළාත් පාලන ආයතන සමහරක මැතිවරණවලදී රිෆෝර්ම් UK පක්ෂයට එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම අභිබවා යන​ විශිෂ්ට ප්‍රතිඵල ලැබි ඉතිබෙනවා.

රන්කෝර්න් සහ හෙල්ස්බි ආසනයේදී රිෆෝර්ම් අපේක්ෂිකා සාරා පෝචින් ලේබර් අපේක්ෂිකා කැරන් ශෝර්ට වඩා ඡන්ද හයක් ලබාගනිමින් අතුරු මැතිවරණය ජයගත්තා. 2024 මහමැතිවරණයේදී ලේබර් පක්ෂය මෙම ආසනය ජයගත්තේ වැඩි ඡන්ද 14,700 කින්.

මේ අතර ග්‍රේටර් ලින්කන්ශයර් නගරාධිපති තරගයෙන් රිෆෝර්ම් පක්ෂයේ ඇන්ඩ්‍රියා ජෙන්කින්ස් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඇය 2015-24 සමයේ කොන්සර්වේටිව් මන්ත්‍රීවරියක වූ අතර 2024 නොවැම්බරයේදී රිෆෝර්ම් සමග එක්වුණා. ඇය රිෆෝර්ම් UK පක්ෂයේ පළමු නගරාධිපතිනිය ලෙස ඉතිහාසයට එක්වනවා.

රට පුරා පළාත් පාලන ආයතන 23 ක ප්‍රතිඵල මේ වනවිට ද ලැබෙමින් පවතින අතර රිෆෝර්ම් UK පක්ෂය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දහවල් 1 වනවිට සභිකයන් 79 දෙනෙක් දිනාගෙන සිටිනවා. කොන්සර්වේටිව් පක්ෂය සභිකයන් 37 දෙනකු දිනාගනිද්දී ලේබර් පක්ෂය මෙතෙක් දිනා ඇත්තේ සභිකයන් 11 දෙනකු පමණයි.

මහමැතිවරණ ජයග්‍රහණයකින් වසරක් ගතවීමටත් පෙර ලේබර් පක්ෂය මෙසේ පසුබැසීම කියර් ස්ටාමර්ට විශාල අභියෝගයක් බවට පත්වනු ඇති. එමෙන්ම බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ දෙකම අභිබවා තුන්වන පක්ෂයක් ප්‍රථම ස්ථානයට පැමිණීම ද ඓතිහාසික අවස්ථාවක් වනවා.