hit counter

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 27, ප.ව. 7:28



පෙම්බර මාලිනියගේ වියෝවෙන් පසු බොහෝදෙනාගේ කතාබහට ලක්වුණු චරිතයකි, ජනප්‍රිය රංගන ශිල්පි චන්දික නානායක්කාර.

මාලිනිය වෙනුවෙන් ඔහු කළ කැපවීම ඊයේ මාලිනියගේ අවමංගල සභාවේදී ද කතාබහට ලක්කෙරුණේ, ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා විසින් ඔහුට ලබාදුන් ප්‍රණාමයත් සමඟයි.

පහතින් දැක්වෙන්නේ, චන්දික නානායක්කාර පිළිබඳව සමාජ මාධ්‍යයේ ලියවුණු සටහන් අතර, මනෝරි කෞෂි දිසානායක විසින් තබන ලද ළෙංගතු සටහනයි.

”පිරිමි බාග” ජීවත් වෙන කාලෙක “සැබෑ පිරිමියෙකු” දුටූයෙමි. කශේරුඛාව හයිය ඇති පිරිමියෙකු දුටූයෙමි.

ඒ ගැන කවියකින් හෝ කුඩා සටහනකින් නොලීවොත් එය අකටයුත්තක් බව හදවතට හැඟෙන නිසා ඉතා සරලව හා කෙටියෙන් ලියා තබමි.කාන්තාවක ලෙස එය යුතුකමක් ලෙසට හදවතේ බහා ලමි.

විවාහ සහතිකයට පමණක්ම අයිතියක් කියා ඒ මැදට “ප්‍රේමය” නම් නාමිකයක් පමණක් එක් කොට ලෝකයට පෙනෙන්නට පමණක් ජීවත් වෙන නමුදු කාන්තාවනට අනේක වද හිංසා කරමින් ඔවුන්ගේ මුළු ජීවිතයම විනාශ කල ,නමුත් ලෝකයට යහපත් බව පෙන්වමින් ලකුණු දා ගන්නා පිරිමි අපි දැක ඇත්තෙමු.

සමහර කාන්තාවෝද ඒ හැම දුක් ගැහැටක්ම ඉවසමින්, ලෝකයාගෙන් වසන් කරමින් ආත්ම ලැජ්ජාව නිසාම ආත්ම ගෞරවය නිසාම පවුල් ජීවිතය රැක ගන්නට බොහෝ කාලයක් ඉවසීමෙන් දරාන ඉන්නවා අපි දැක ඇත්තෙමු.

නමුදු ඉවසීමේ සීමාව පැන ගිය පසු අශ්වයා ඉස්තාලයේ තබා පලක් නැත්තේමය. කෙසේ නමුත් විවාහය සහතිකේට පමණක්ම සීමා කොට අයිතිය පමණක්ම රැක ගන්න දඟලන මිනිස්සු බැඳීම් යනු එය නොවේයැයි කිසිදු විටෙක වටහා ගන්නේද නැත. ඒ තරම් බුද්ධියක් සමහර මිනිස්සුන්ට නැත්තේමය.

ගැහැණියකට කන්න බොන්න දෙන එක පමණක්ම ජීවිතය යැයි සිතා ඉන්නා පිරිමිද අපි දැක ඇත්තෙමු.

කාන්තාවනට අනේක විදි නින්දා අපහාස කරමින් ගුටි බැට දෙමින් ඔවුන්ව පහතට දමා කතා කරන එක ‘වීරකමක්’ ලෙස සිතන මෝඩ පිරිමිද අපි දැක ඇත්තෙමු.

එය පිරිමිකම ලෙස ඔවුන් දකින නමුත් එය පිරිමිකමත් ගැහැණුකමත් දෙකටම නැති හරි අසික්ඛිත දෙයක් බව ඔවුන්ට තේරුම් ගන්නට තරම් බුද්ධියක් ද නැත්තේමය.

ඒ අතුරින් ඊයේ පෙරේදා අපේ ආදරණීය මාලනියගේ වියෝවෙන් පසුව හරි අපූරු “සැබෑ පිරිමියෙක්” ලෙස හැඳින්විය හැකි ආදරණීය චරිතයක් එලියට ආවේය.

එහෙව් ගෞරවණීය පිරිමි මේ ලෝකේ ඉන්නවාදැයි සිතෙන තරමටම ඔහු නිහඬවම ලෝකයාගේ ආදරය දිනා අවසන්‍ ය.

Chandika Nanayakkara ආදරණීය අයියේ ඔබට හදවතින්ම ගෞරව කරමි. මෙය ලියන්නදැයි ඔබෙන් අවසර ගෙනම ලියන්නේ මාලනියට හෝ ඔබට එකදු ඉස්පිල්ලකින් හෝ පාපිල්ලකින්වත් අගෞරවයක් නොවන්නටය.

ප්‍රේමයනම් ප්‍රේමයමය. ගෞරවය නම් ගෞරවයමය. මනුස්සකමනම් මනුස්සකමමය.

ඉන් එහාට කොළ කෑල්ලකට හෝ අයිතිවාසිකමකට හදවතේ බැඳීම් වෙනස් කල නොහැකිය. බඳින බොහෝ වුන් බැඳුනේ නැත. බැඳුන බොහෝ වුන් බඳින්නේද නැත.

ලෝකයා මොන මොන ආකාරයට අර්ථකතනය දුන්නත් සැබෑව දන්නේ තම තමන්ගේම හෘද සාක්ෂිය පමණි.

ආදරණීය චන්දික අයියේ ඔබ තරම් ප්‍රේමයට අරුතක් දුන් මනුස්සකමට අරුතක් දුන් මාලනියව පරිස්සමට බලා ගත් අයෙක් මෑත කාලයේ දුටුවේද නැත.

සමාජයට පෙනෙන්නට නොව ,ලකුණු දා ගන්නට නොව ඔබ සැබෑවටම ඇයට ආදරය කල බවට වෙන සාක්ෂි කුමටද.අයිතිවාසිකමක් නොකියාම ආදරය කිරීම තරම් ඇහින් දුටු සාක්ෂියක් තව කොහිද ?

සැබෑ පිරිමියෙක් උපදින්නේ සැබෑම මවකගේ උත්සාහයෙන් බව අපි පිළිගන්නෙමු. පුතෙක් යහපත්ව හදන්නට ,තනන්නට , ගැහැණියකට ගෞරව කරන්නට ඉගෙන ගන්නේ තමන්ගේම මවගෙනි. “මුල” හොඳ නැත්නම් ගහක අතු ඉති ද දිරාපත් වන බව සැබැවි.

බාගෙට මව් කිරි කට ගෑ වුන්, එහෙමත් නොමැතිනම් මව් කිරි නොබීම හැදුන වැඩුන වුන් “ගැහැණියව” අගතියට පත් කරන්නට බොහෝ දක්ෂයය.
තමන්ගේ මවත් කාන්තාවක් බව නොසිතන්නේ ඒ නිසාමය.

එවන් අයහපත් මිනිසුන් මද්‍යයයේ ඔබ වන් මිනිසුන් දැකීමත් වාසනාවක්මය. ඇගේ ගෞරවයට ඔබ කිසිදු විටෙක හානි නොකලේය.

නිහඬවම ඇයගේ සතුට,සැනසීම වෙනුවෙන් පමණක්ම කැප වුනේය. ආදරය,මනුස්සකම නම් එයමය. ඉන් එහා ‘බර ‘දෙයක් මා දන්නේ නැත.

කෙසේ වෙතත් ලෝකයා හැම දේම දකින්නේ මනින්නේ ඔවුන්ගේ මානසික මට්ටම හා ඔවුන්ගේ ඇහේ සීමාව අනුවය.

එය එක්, එක් අයගේ බුද්ධි මට්ටමේ අඩු වැඩිය අනුව සිද්ද වේවි. හරියට සත්‍යයය දන්නේ හදවත් දෙකක් පමණි.

මුළු ලෝකයක් ඉදිරියේ හරි නිහඬවම ඇගේ අත අල්ලා ගත් ඔබට හදවතින්ම ගෞරවය සහ ප්‍රණාමය ! ඒ හයියට අපේ ආදරය !

ගැහැණියකට අවශ්‍යය වන්නේ පිරිමි හිතකින් රැකවරණය ,ආදරය,ගෞරවය,සැනසීම ,සැහැල්ලුව,පරිස්සම විනා අන් කවරක්ද. ඒ දේවල් ඉදිරියේ මුදල් සහ බලය යනු පයට පෑගෙනා දුහුවිල්ලක්මය.

ඉතිං ඇගේ ප්‍රේමයේ කඳුළින් තෙත් වූ දිගැටි දෑස් මත කෙටි කලකට හෝ ප්‍රේමයම සිත්තම් කල ඔබට,සැනසීම සහ සැහැල්ලුව සතුටම නිදන් කල ඔබට අනේක වාරයක් ස්තූතියි ! ඔබේ හයිය පිරිමි හිතට අනේක වාරයක් පිං !

මාලනිය වන් උස් ගුණ ඇති කාන්තාවකට අවසානයේ හෝ ඔබ වන් යහපත් හිතක ආදරය හිමි විය යුතුමය.ඇය වෙන්ව ගිය උන්ට ශාප කලේ නැත. කිසිදු විටෙක නින්දා, අපහාස කලේද නැත.

වෛරයකින් දැවි ,දැවී සිටියේද නැත. පළි ගැනීමේ චේතනාවෙන් තැන තැන එකදු වචනෙකින් හෝ හානි කලේද නැත. අල්පමාත්‍රයකදු කහටකින් තොරව පෙර පුරුදු ගෞරවයෙන්ම, ආදරයෙන්ම ඇය පෙර වුන් අයව සිහිපත් කලාය. ඒ හරි අව්‍යාජවමය.

එවන් යහපත් හදවතකට ස්වභාධර්මය විසින්ම ඔබ වන් යහපත් කෙනෙක්ගේ ආදරය නොඅඩුව ලබා දීම පිළිබඳව එක අතකින් පුදුම විය යුතුද නැත. ඒ ස්වභාධර්මයේ හාස්කම් මය.

බැඳීම් සහ ආදරය යනු සැබෑ ප්‍රේමය යනු මුදල් හෝ බලය වත් අන් කිසිවක්ම නොව ඉන් එහාට ගිය හරි ‘බර’ දෙයක් බව තේරුම් ගන්නා විශේෂයෙන් කාන්තාවක බලාපොරොත්තු වන්නේ පරිස්සම ,ගෞරවය, ආදරය ,වචනෙකින්වත් හානියක් නොකොට දෙන මනුස්සකම කියන එක තේරුම් ගත් ලස්සන හදවත් තියෙන පිරිමි අනේ මේ ලෝකයේ වැඩි වැඩියෙන් බිහි වේවා !!!

එවන් පුත්තු වදන , හදන සැබෑ මව් වරුන්ටත් අනේක වාරයක් සැනසීමම උදා වේවා !!!
ඉතිං එපමණයි.

මනෝරි කෞෂි දිසානායක”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: