hit counter

2025 ජූනි මස 17 වන අඟහරුවාදා

2025 ජූනි 16, ප.ව. 9:06



ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන බුද්ධි නිලධාරීන් සිව් දෙනකු මරණයට පත්වූ බව අද දින ඊශ්‍රායල සන්නද්ධ හමුදා විසින් නිවේදනය කෙරුණා.

මේ සිව් දෙනා වන්නේ ඉස්ලාමීය මුරභට හමුදාවේ බුද්ධි ප්‍රධානී මොහොමඩ් කසෙමි, එහි බුද්ධි උප ප්‍රධානී මොහොමඩ් හසන් මොහාකික්, ඉස්ලාමීය මුරභට හමුදාවේ කුද්ස් බලකායේ බුද්ධි ප්‍රධානී මොහ්සෙන් බක්‍රි සහ එහි ම බුද්ධි උප ප්‍රධානී අබු අල් ෆාදල් නිකුවේයි යන සිව් දෙනායි.

මේ අතර ඊශ්‍රායල ගුවන් හමුදා මේ වනවිට ටෙහෙරානයෙන් බටහිරට වන්නට පිහිටි ඉරාන භූමියට ඉහළ ගුවන් බලය සම්පූර්ණයෙන්ම තමන් සතුකරගෙන තිබෙන බවත් එහි ගුවන් ආරක්ෂණ පද්ධති විනාශ කර ඇති බවත් සඳහන් කරනවා.

බටහිරදිග සිට ටෙහෙරානය වෙත ගමන් කරමින් සිටි මිසයිල විදින රථ ආදී හමුදා රථ වෙතද පහර දුන් බව ඊශ්‍රායල හමුදා සඳහන් කරනවා.

මේ අතර අද උදෑසන ඉරානය විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ටෙල් අවිව් සහ හයිෆා ප්‍රදේශයන් හි ජීවිත හානි සහ දේපළ හානි වාර්තා වුණා. අද දින ප්‍රහාරයන් හේතුවෙන් අවම වශයෙන් ඊශ්‍රායල ජාතිකයන් අට දෙනකු මියගොස් තිබුණා. මේ අතර ටෙල් අවිව් හි ඇමරිකානු තානාපති කාර්යාල ශාඛාවට ද පිපිරීමක කම්පන හේතුවෙන් සුළු අලාභහානි සිදුවූ බව ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති මයික් හකබි සඳහන් කළා.