hit counter

2025 ජූනි මස 21 වන සෙනසුරාදා

2025 ජූනි 21, පෙ.ව. 12:10



පාර්ලිමේන්තුවේදී ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැව උණුසුම් සංවාදයක් ඇති විය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයකට අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විතින් පිළිතුරු ලබාදීමේදී දයාසිරි ජයසේකර මහතාද එම විවාධයට සම්බන්ධ වී පසුව එය විශාල ඝෝෂාවක් බවට පත් විය.

එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා චෝදනා කළේ, මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දින හතේ සමාව හෝ වෙනත් සමාවක් නොදීමට බන්ධනාගාරයේ වැඩබලන කොමසාරිස් නිශාන් ධනසිංහ තීරණය කර ඇති බවත් ආණ්ඩුව අතින් වූ මෙම වැරැද්ද හේතුවෙන් පොදු සමාවක් බලාපොරොත්තුවෙන් සිටින දහසක් සිරකරුවන් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්ය.

කෙසේ නමුත්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, ජනාධිපති සමාවක් හෝ වෙනත් සමාවක් ඉදිරියට නොලැබෙන බව කීම වැරදිසහගත බවත් සිදුවූ සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ය.

අමාත්‍ය ආනන්ද විජේපාල:

ජනාධිපති පොදු සමාව සම්බන්ධයෙන් අධිකරණය නැත්නම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද නාම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය හරහා ජනාධිපතිතුමාට ලැබුණ ම ජනාධිපති මේකට අනුමැතියක් ලබා දුන්නා. මේක හොයලා බලලා අනුමැතිය දෙන්නේ. ඒ තෝරා ගැනීමේ ක්‍රමවේදයක් බන්ධනාගාරයට තිබෙනවා. ඒ අනුව තෝරා එවනවා. ජනාධිපතිතුමා අත්සන් කරපු ලැයිස්තුවට පරිබාහිරව යම් සිරකරුවෙක් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධව ගැටලුවක් පැන නැඟී තිබෙනවා. මේ ගැන විමර්ශනයක් කර අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. එතකොට මේක ජනාධිපති අත්සන් කළාම මේක ජනාධිපති හොයන්නෙ නෑ බන්ධනාගාරයට ගිහින්. නිර්දේශ ඉදිරිපත් කරන්නේ බන්ධනාගාරයෙන්.

එතකොට ජනාධිපතිතුමා වෙත නිර්දේශ ඉදිරිපත් කළ පසු ලැයිස්තුවට අනුමැතියක් දී තිබෙනවා. සිරකරුවන් අනීතික ලෙස නිදහස් කළා නම් ඒ නිදහස් කළ පුද්ගලයා තමයි වග කියන්න ඕනෑ. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් යනවා. ඊට කලින් මිනී මැරුම් චෝදනාවලට ලක්වූ අය නිදහස් කරලා තිබෙනවා. මම කියනකම් පොඩ්ඩක් වාඩිවෙන්න.

ඒ කාලේ ඇති තරම් ක්‍රමවේද අනුමත නොකර අවධානයක් යොමු නොකර බන්ධනාගාර දෙපාර්තමේන්තුව හරහා අති විශාල පිරිසක් අනීතිකව නිදහස් කරලා තියෙනවා. ඒ ගැන විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තු බොහෝ පිරිස් අවංකව වැඩ කරන අය ඉන්න අතර අපිට යම් කාරණයක් සම්බන්ධ චෝදනා ලැබෙන පුද්ගලයන් සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශය වෙන ම විමර්ශනයකුත් අපරාධ චෝදනා යටතේ වෙනම විමර්ශනයකුත් විනය සම්බන්ධව වෙනම විමර්ශනයකුත් සිද්ධ වෙනවා. මේ සියල්ල රටේ නීතියට අනුකූලව සිදුවෙන්නේ. කිසිම රජයේ නිලධාරියෙක් මේකට ඉලක්ක වෙලා නෑ.

මන්ත්‍රි නාමල් රාජපක්ෂ,

හරී. ජනාධිපතිතුමා වගකියන්න ඕන නැහැ. එතැන ඇමතිවරයෙක් ඉන්නවා. ලේකම්වරයෙක් ඉන්නවා. මං පොඩි ඉල්ලීමක් කරනවා. මේ ලැයිස්තුව සහ සභාගතකරන්න කියලා. සභාගත කළාම මේ ප්‍රශ්නය ඉවරයි.

ආනන්ද විජේපාල,
ලැයිස්තු සභාගත කරන්න කලින් මේකෙ විමර්ශනයක යනවා. ඉන්පසු උත්තර ලබාගන්න පුළුවන්.

මන්ත්‍රි දයාසිරි ජයසේකර,
ඔබතුමාලා හිරකාරයෙක් නිදහස් කිරීම ගැන ප්‍රශ්නය හින්දා මොකක්ද දැන් වෙලා තියෙන්නෙ. මේ රටේ සිරකරුවෝ වතුරවත් බොන්නෙ නැතුව බලන් ඉන්නවා සමාව ලැබෙනකන්. ආපහු නැවත ලියුමක් ගහලා තියෙනවා ධනසිංහ මහත්මයා දැනට ඉන්න කොමසාරිස්තුමා 2025.06.18 නැවත දැනුම් දෙනතුරු දින හතේ සමාව වත් වෙන මොකුත් සමාවක් දෙන්න එපා කියලා. එතකොට මොකද වෙන්නේ? ඔබතුමාලා ගත්ත වැරැදි තීරණයක ප්‍රතිඵලයක් ලෙස දහසක් සිරකරුවෝ එළියට යන්න බැරුව ඉන්න වෙලා තිබෙනවා. ඒ නිසා මේක විශාල වැරැද්දක් කරලා තිබෙන්නේ. මේක නිවැර කරන්න.

නාමල් රාජපක්ෂ:
අර මෙතුමන්ලා අනුයුක්ත කිරීමක් ගැන කිව්වනෙ. දූෂණ විරෝධී මර්දන කමිටුවට අනුයුක්ත කරලා තියෙන්නෙත් ඒ විදිහටම වෙන්න ඇති. ඒවා ගැනත් හොයලා බලන්න.

ආනන්ද විජේපාල:
දයාසිරි මන්ත්‍රිතුමා වැරදි අදහසක් සමාජගත කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ජනාධිපති පොදු සමාව ඉදිරියට නෑ කියන එක වැරදියි. ඒක වැරදි තීන්දුවක් කියලා ඔබතුමා කොහොමද කියන්නේ? ජනාධිපතිතුමාගෙ ලැයිස්තුවේ නැති සිරකරුවෙකු අනීතිකව නිදහස් කිරීම ඔබතුමා කොහොමද වැරැදියි කියලා කියන්නේ. මේ සමාජයට වැරැදි අදහසක් දෙන්න ඔබතුමා හැමදාම කටයුතු කරනවා. මේ පාර්ලිමේන්තුව ඒකට පාවිච්චි කරන්න එපා. මේ ගැන ක්‍රමවත් විමර්ශනයක් සිදුවෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. පොදු සමාව අවසන් කරලා නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: