hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 02, පෙ.ව. 10:02



උතුරු කොරියාව වෙත රුසියාවේ පන්ත්සීර් S1 ගුවන් ආරක්ෂණ අවි ලැබී ඇති බවත් මේ වනවිට එසේ ලද පළමු ඒකක ප්යොංග්යෑංග් අගනුවර ආරක්ෂාව සඳහා යොදා ඇති බවත් යුක්‍රේන මිලිටරි බුද්ධි අංශ ප්‍රධානී කිරිල් බුදානෆ් පවසනවා.

ජූලි 1 වනදා ගුවන්විදුලි සංවාදයකට එක් වෙමින් ඔහු කියා සිටියේ රුසියානුවන් මෙම අවිය භාවිතා කිරීම පිළිබඳ උතුරු කොරියානුවන්ට පුහුණුව ලබාදෙන බවයි. තවද රුසියාව විසින් උතුරු කොරියාවට නවීන ඉලෙක්ට්‍රොනික යුධ උපාංග ද ලබා දී ඇතැයි බුදානෆ් සඳහන් කරනවා.

රුසියාව සහ උතුරු කොරියාව පසුගිය වසරේ ජූනි මාසයේදී මූලෝපායික සහයෝගිතා ගිවිසුමකට එළඹි අතර​, උතුරු කොරියානු සෙබලුන් කුර්ස්ක් පළාතේ සටන් සඳහා සහය දීමට රුසියාවට පැමිණියා. 2025 ජුනි 30 වනදා උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් මෙසේ රුසියාවේදී සටන් වැද මියගිය උතුරු කොරියානුවන්ව අනුස්මරණය කළා.

බුදානෆ් පවසන්නේ නවීන අවි ලබාදීම සහ ඒවා භාවිත කිරීමේ පුහුණුව ලබාදීම මගින් රුසියානුවන් උතුරු කොරියාවේ හමුදා ශක්තිය වර්ධනයට උපකාර කරන බවයි. රුසියානුවන් උතුරු කොරියානු KN-23 මිසයිලය නවීකරණය කිරීමට ද සහය දී ඇතැයි වාර්තා වනවා. එමෙන්ම රුසියාවේදී සටන් කිරීම තුළින් වර්තමාන යුධ පෙරමුණක අත්දැකීම ඍජුවම ලැබීම ද උතුරු කොරියානුවන්ට ඉතා වැදගත් යැයි බුදානෆ් පෙන්වා දෙනවා.

උතුරු කොරියාව ඩ්‍රෝන නිෂ්පාදනයට සහය වීම තුළින් ද රුසියාවට ආධාර කරන්නේ යැයි සඳහන්. ඒ සඳහා උතුරු කොරියානුවන් පිරිසක් නුදුරේදීම රුසියාව බලා පිටව යනු ඇතැයි දකුණු කොරියානු ජාතික​ බුද්ධි සේවාව මෑතකදී වාර්තා කළා.