hit counter

2025 ජූලි මස 30 වන බදාදා

2025 ජූලි 06, පෙ.ව. 12:05



මින් ඉහත ඒෂියා මිරකල් අවෝර්ඩ්ස් නමැති සම්මාන උළෙලේ හයේෂිකා ප්‍රනාන්දු නමැති උපකාරක පන්ති ගුරුවරියට සම්මාන දෙන්නට ආ ඇමතිවරයෙකු සම්මාන දීම ප්‍රතික්ෂේප කිරීම නිසාද ආන්දෝලනයක් හටගෙන තිබූ අතර ඒ අවස්ථාවේදී තරුණයෙකුට කළ ප්‍රහාරයකින් ඇප මත නිදහස්ව සිටින හයේෂිකා සම්මාන ද්විත්වයකින් ඇගයීමට එම සම්මාන උළෙල කටයුතු කර තිබුණි.

මේ සිදුවීමට පසුව මේ දිනවල විවේචනයට ලක්ව තිබෙන විවිධ නමින් එන මුදලට ලබාදෙන සම්මාන උළෙල රැල්ල අතරතුර තවත් මසකින් පමණ පවත්වන්නට නියමිත පොපියුලර් අවොර්ඩ්ස් නමැති සම්මාන උළෙල ගැනද කථාබහක් ඇතිව තිබේ.
එහි නිර්දේශිත නම් සඳහා යොජනාවූ ‘ජනප්‍රියම ගුරුවරයා’ සම්මානයෙන් දිනේෂ් මුතුගලත්,  ‘ජනප්‍රියම නර්තන ශිල්පියා’ සම්මානයෙන් ඔෂාන් ලියනගේත්,  ‘ජනප්‍රියම නර්තන ශිල්පිණිය’ සම්මානයෙන් AK Twins (අනු හා කනු) ඉවත්වන බව සිය ෆේස්බුක් පිටු ඔස්සේ දන්වා තිබුණි.

මුතුගල සර්ගේ ඉවත්වීම සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් නිර්මාණය කළ අතර සමාජයේ ගෞරවයට පාදක වන ගුරුවරයා යන භූමිකාවට නිගරුවක් වන බවට විවේචන මතුවිය.

මේ විවේචන වලින් අනතුරුව ‘පොලියුලර් අවොර්ඩ්ස්’ සම්මාන ලබාදෙන තීරණයේද වෙනසක් සිදුව ඇති අතර ඔවුන් ඊයේ ප්‍රසිද්ධ කළ නිවේදනයකට අනුව  ‘ජනප්‍රියම උපකාරක පන්ති ගුරුවරයා’ සහ ‘ගුරුවරිය’ යන සම්මාන යුගල ‘පාසල් ගුරුවරයා සහ ගුරුවරිය’ නමින් වෙනස්කරන්නටත් ජනප්‍රියම ගුරුවරයා සහ ගුරුවරිය සදහා නිර්දේශ වී ඇති සියලුම නිර්දේශිත නාම අවලංගු කරන්නටත් තීරණයවී ඇත. ඒ අනුව ආන්දෝලනයට ලක්ව තිබූ හයේෂිකා ප්‍රනාන්දුගේ නමද මෙවර තරගයෙන් ඉවත් කර ඇත.

ඔවුනගේ නිවේදනයේ මෙසේ දැක්වේ.

වාණිජකරණයෙන් ඔබ්බට ගොසින් සිය ජීවිකාව උතුම් යුතුකමක් සහ වගකීමක් යැයි සලකා, නැණ නුවණින් පිරී සිසු පරපුරක් වෙනුවෙන් ආදරය සහ සෙනෙහස කැටි කොට ගෙන යුහුසුළුව ගුරුකම් ලබාදෙන දැයේ සුවහසක් පාසල් ගුරුවරුන් වෙනුවෙන් ජනප්‍රියම උපකාරක පන්ති ගුරුවරයා සහ ගුරුවරිය යන සම්මාන යුගල පාසල් ගුරුවරයා සහ ගුරුවරිය නමින් සංශෝධනය කිරීමට Popular Awards සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇති බවට අභිමානයෙන් යුතුව දැනුම් දෙමු.
මේ වන විට ජනප්‍රියම ගුරුවරයා සහ ගුරුවරිය සදහා නිර්දේශ වී ඇති සියලුම නිර්දේශිත නාම අවලංගු වේ.
ස්තුතියී.!

මේ අතර මෙම පොපියුලර් අවොර්ඩ්ස් සම්මාන සඳහා ජනප්‍රියම ඡායාරූප ශිල්පියා යන සම්මානයට නිර්දේශිත නම් අතර සිටින ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රසන්න ඉරෝෂන් සිය ෆේස්බුක් ගිණුමේ ඊයේ (4) පළ කළ පණිවිඩයක දැක්වෙන්නේ 

“සම්මානයක් 85000/- යි ඉන්වොයිස් එකක් ආවා බලන්න ඔනී අය ඉන්බොක්ස් එන්න. අපේ ගමටත් සම්මානයක් ඕඩර් කරන්න ඔනී ගැම්මට…” 

යනුවෙනි. ඔහු සම්මාන උළෙල කවරක්ද යන්න ගැන සඳහන් නොකර එම කාරණාව පමණක් ඉඟි කර තිබුණි. මේ දිනවල නාමයෝජනා පවතින්නක් නිසා ඔහු සඳහන් කරන්නේ ඉහත සම්මාන උළෙල ගැන යයි අනුමාන කළ හැකිය.

වාණිජකරණය සම්මාන උළෙල වල ප්‍රමිතිය සම්බන්ධ බරපතල නොවටිනාකම ඉහත සිදුවීම් වලින් නැවත නැවත තහවුරුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: