hit counter

2025 සැප්‍තැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 7:59



පෝලන්තයේ වෝර්සෝ අගනුවර මධ්‍යයෙහි පියාසර කළ ඩ්‍රෝනයක් බිම දැමීමට සමත් වූ බව එරට අගමැති ඩොනල්ඩ් ටුස්ක් ප්‍රකාශ කළා.

මෙම ඩ්‍රෝනය එරට ජනාධිපති නිල නිවසක් වන බෙල්වෙදර් මාළිගයට සහ තවත් රජයේ ගොඩනැගිලි කිහිපයකට ඉහළින් පියාසර කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ ඩ්‍රෝනයේ පියාසැරිය පිළිබඳව සැකපිට බෙලාරුස් වැසියන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද ටුස්ක් ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය වාර්තා වන්නේ රුසියානු ඩ්‍රෝන 19 ක් පෝලන්ත ගුවන් සීමාව වෙත ඇතුල් වීමෙන් සතියකටත් වඩා අඩු කාලයක් තුළයි.

සැප්තැම්බර් 9-10 රාත්‍රියේ රුසියානු ඩ්‍රෝන 19 ක් මෙසේ පෝලන්ත ගුවන් සීමාව වෙත ඇතුල් වූ බව පෝලන්තය චෝදනා කළා. මෙයින් තුනක් හෝ හතරක් හෝ බිම දැමූ බවයි එරට නිවේදනය කර තිබුණේ. ඩ්‍රෝන හතක කොටස් රටේ විවිධ ස්ථානවලදී හමුවී තිබෙන බව ද වාර්තා වුණා.

රුසියාව කියා සිටියේ තමන් පෝලන්තය අභ්‍යන්තරයේ ඉලක්ක වෙත පහරදීමක් නොකළ බවයි.

ඩ්‍රෝන 19 කින් කිහිපයක් පමණක් විනාශ කිරීමට සමත් වීම හේතුවෙන් පෝලන්තයේ මෙන්ම යුරෝපයේ ගුවන් ආරක්ෂණ පද්ධතිවල සූදානම පිළිබඳව ද කතාබහක් ඇතිව තිබෙනවා. පෝලන්ත ගුවන් සීමාව ආරක්ෂා කිරීම සඳහා සහය වීමට ප්‍රංශය, ජර්මනිය ආදී රටවල් කිහිපයක්ම සිය යාත්‍රා පෝලන්තය වෙත යවා තිබෙනවා.

මේ අතර මේ දිනවල රුසියාව සහ බෙලාරුස් රාජ්‍යයන් එක්ව පවත්වන සාපද්-2025 යුධ අභ්‍යාසයන් ද පැවැත්වෙනවා. මෙවර එය නේතෝ දේශසීමාවන් ගෙන් තරමක් ඈතින් පැවැත්වුණ ද නේටෝ රටවල් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවනවා.