hit counter

2024 ඔක්‍තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:05



අමීලියා විජේසූරිය මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිතර දකින්න ලැබෙන චරිතයකි.

ඇවටර් සංගීත කණ්ඩායම සමඟ එක්වී ප්‍රසංග වේදිකාව මත විශාල පෙරළියක් කරන මේ අපූරු තරුණිය ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇති බව පැහැදිලියි.

ඕනෑම ආරක ගීත ගායනා කළ හැකි අමීලියා මේ වනවිටත් සංගීත ලෝකයේ හිතාගත නොහැකි දුරක් ගොස් ඇති බවට ඇයට ලැබෙන ප්‍රතිචාර සාක්ෂි දරනු ඇත.

ඇය පාරම්පරික නර්තන ඉතිහාසයකට උරුමකම් කියන කලා පරම්පරාවක අටවැනි පුරුකට අයත් සාමාජිකාවක් වීම තවත් විශේෂත්වයකි.

පුවත්පතක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් ඇය මෙසේ අදහස් දක්වා තිබෙනවා.

අමීලියා නර්තනයටත් දක්ෂයි කියල ආරංචියි?

මං අවුරුදු තුනේ ඉඳන්ම නර්තනය හැදෑරුවා. මං කරන්නේ පහත රට නර්තනය. අපිට අයිති පාරම්පරික නර්තන කලාවක් තියෙනවා. දැන් යන්නෙ හත්වැනි පරම්පරාව. මගේ සීයයි ඩැඩියි තමයි හත්වැනි පරම්පරාව ගෙනියන්නේ. මායි, මල්ලියි, නංගියි අයිති අටවැනි පරම්පරාවට. ආරියපාල කියන මගේ මී මුත්තා තමයි වෙස් මුහුණු, කෝලම් මුළු ලෝකෙටම හඳුන්වලා දුන්නේ. ඒ නිසා පොඩි කාලෙ ඉඳන්ම මට තිබුණෙ නර්තන වටපිටාවක්. අපේ ගෙදර හැමවෙලේම අඩුම ගානෙ බෙර සද්දයක් හරි තියෙනවාමයි.

නර්තන අංශයේ ඔබේ දක්ෂතා ගැන කතා කළොත්?

මෝදර දෙවොල් පෙරහර අම්බලන්ගොඩ සුවිශේෂී පෙරහරක්. අපේ පවුලම ඒ පෙරහරේ නටනවා. මං අවුරුදු 3 ඉඳන්ම ඒ පෙරහරේ නටනවා. තාමත් දේවල් ඉගෙන ගන්නවා. මේ අවුරුද්දෙත් සම්බන්ධ වුණා. මං ගොඩක්ම ආස රාස්ස වෙස්මුහුණ පැලඳගෙන නටන්න. ඒක ලේසි වැඩක් නෙවෙයි. වෙස් මුහුණ ගැටගහගෙන නටන්න අමාරුයි. සාමාන්‍යයෙන් ඒ වෙස් මුහුණක් කිලෝ 3-5 වගේ බරයි. ඒකත් ගැටගහගෙන පන්දම් අරන් නටනවා කියන්නේ අමාරු වැඩක්. ඒ වගේ නටන්නේ පිරිමි අය විතරයි. මොකද ගැහැනු කෙනෙකුට ඒ වගේ බරක් උස්සන් නටන්න අමාරුයි. ගොඩක් දෙනෙකුට හිතාගන්න බෑ මේ අමීලියා ද නටන්නෙ කියලා. අපි ගින්දරත් එක්කයි ඩීල් කරන්නේ. වෙස් මුහුණ බැන්දම අපිට පොඩ්ඩක්වත් පේන්නේ නෑ. හුස්ම ගන්නත් අමාරුයි. සම්පූර්ණයෙන්ම කවර් වෙලා. මුකුත්ම පේන්නෑ. ගින්දර කෑල්ලක් ඇඟට ආවත් පේන්නෑ. ඇඟට වැටිලා ඇඳුම පිච්චෙන සුවඳ දැනුණොත් මිසක් පේන්නෙ නෑ. ඒ නිසා මේක ලොකු රිස්ක් එකක්.

වෙස්මුහුණු දමාගෙන පන්දම් අරන් නටද්දි අනතුරුදායක අත්දැකීම්වලට මුහුණ දීලත් ඇති?

අපි පන්දම් අරන් නටද්දි එක අතකින් පන්දම අරන් අනිත් අතින් දුම්මල ගහන්න ඕන. දුම්මල හැමෝටම දෙන්නෙත් නෑ. ඩැඩීටයි මටයි විතරයි දුම්මල දෙන්නේ. දුම්මල ගැහුවම ලොකු ගිනි දැල්ලක් එනවා. දවසක් දුම්මල මගේ මුහුණ ඇතුළටම ආවා. දුම්මල එක්ක ගින්දර එන එක සාමාන්‍යයි. ඉක්මනින් ඩැඩී ඇවිත් මගේ වෙස් මුහුණ ගැලෙව්වා. ඒක හරි තදට ඔළුවට තියල ගැටගහන නිසා ගලවන්නත් ලේසි නෑ. දැන් බැලුවත් පේනවා වෙස් මුහුණු බැඳලම මගේ ඔළුව පොඩ්ඩක් ඇතුලට එබුණ ගතියක් පේනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: