hit counter

2024 ජූනි මස 22 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 9:25



ගෙදර හිටපු දවස් හතර නොදැනිම ගෙවිලා ගියා…මේනකගේ වැඩි කැමැත්ත තිබුනෙ කොළඹ රස්සාව කරන්න වුනාට ජීවත් වෙන්න වැඩිපුර කැමති වුනේ ගම⁣ට…

කොළඹදී නොදැනෙන අපූරු නිවී සැනසෙන හැඟීමක් මේනකට ගමට ආවම දැනෙනවා… නගරයේ ඝෝෂාකාරී ශබ්ද වලින් හෙම්බත් වෙන කන් දෙකට, විෂ දුම් වලින් බැට කන නහයට ගමේදී ඇහෙන කුරුල්ලන්ගේ සද්දෙයි හමන සීතල සුලඟයි කියාගන්න බැරිතරම් ගතට සනීපයක් ගෙනදෙනවා….

ඒ නිසාම කොළඹ රස්සාව කරාට ගමේ ජීවිතයට සමුදෙන්න අදහසක් නම් මේනකගේ හිතේ තිබ්බෙ නෑ…. මේනකට ඇත්තටම ඕනා වුනේ ජීවිතේට හරි අපූරු අමතක නොවෙන අත්දැකීම් ලබාගන්න…

ජීවිතේ ඔහේ ගෙවනවට වඩා ආසකරන දේවල් කාලා ලස්සනට ඇඳලා කරලා ඉන්න එක හොඳයි කියන අදහස මේනකගේ මනසේ නිතරම දිව්ව කාරණයක්..

කොහොම වුනත් පහුවදා උදේම ආපහු යන්⁣න වෙනවා.. මේනක උදේ පාන්දරම කොළඹ එන්න පිටත් වුනා…පැය දෙක හමාරක විතර ගමනකින් පස්සේ උදේම වැඩට ආපු මේනකට ඕනා වුනේ ඉක්මනට වැඩ ඇරිලා බෝඩිමට යන්න…එදා සඳුදා දවසක්…

සඳුදාට හංසිට හවස 6 වෙනකන් ලෙක්චර්ස් මේනක වැඩ ඇරිලා එන්නෙත් ඒ වෙලාවට..

“නංගී අද ලෙක්චර්ස් ඉවර වෙලා කොහොමද ගෙදර යන්නේ ? තාත්තා එනවද එක්කන් යන්න?”

“නෑ අයියේ.. අද චතූගේ බෝඩිමේ නවතිනවා,ඔයා එනකන් මං ඉන්නම්”මේනක ඕෆ් වෙන්න කලින් හංසිට කතාකරල ඇහුවා…

“ම්ම්.. හා එහෙනම් අපිට අද රෑ වෙනකන් ඉන්න පුලුවන්නෙ,ඔයාව දැක්කෙත් නෑ දවස් ගානකින්,අද අපි රෑට එලියෙන් කමු,චතූටත් කියන්න”මේනක එහෙම කිව්වා…

“ම්ම්.. හා.. අය්යේ “හංසිත් එක පයින්ම ඒකට කැමති උනා…

දවස් ගානකින් ඔෆිස් ගිය මේනක වෙනදට වඩා ඉක්මනට වැඩ ටික ඉවර කළා… මේනක දන්නවා අද හැන්දෑව හරි ලස්සන එකක් බව..

තමන් ආදරේ කරන කෙල්ලත් එක්ක පලවෙනි වතාවට රෑ කෑමකට යන්න මේනක ඒ විදියට සූදානම් වුනා…මේනක ඔෆිස් එකෙත් හිටියේ පුදුමාකාර සතුටකින්….

හවස වැඩ ඇරිලා ඉක්මනටම එන්න ලෑස්ති වුන⁣ මේනක දුමින්දට කෝල් එකක් ගත්තා…

“මචං.. මං අද එන්න ටිකක් රෑ වෙයි,මටත් එක්ක උයන්න එපා,මං එලියෙන් කාලා එන්නෙ”මේනක කිව්වා…

“ආ.. අද ඩිනර් අවුට් එකක් වගේ..” දුමින්ද හිනාවෙන ගමන් ඇහුවා…

“හරි හරි බන් මං ඇවිල්ලා විස්තර කියන්නම්කො,මං තියනවා බායි”මේනක දඩි බිඩි ගාල ෆෝන් එක තිබ්බා..

මේනක බස් එකෙන් බහින තැනම නුවර පාරේ බස් හෝල්ට් එක ළඟ හංසි එක්ක චතූ හිටියා…

“අම්මෝ අයියාව දැක්ක කල්,දවස් හතරට අයියා සෑහෙන්න මහත් වෙලා වගේ පේනවනේ” චතූ එහෙම කියද්දී “එහෙම තමා ඉතිං හැන්ඩියා වගේ ඉද්දී කාටද ආඩම්බර”මේනක හංසිව තුරුලු කරගන්න ගමන් කිව්වා….

තුන්දෙනාම ඇවිදගෙන ගියේ කැලණියෙ නුවර පාර අයිනේ තිබුනු පොඩි රෙස්ටුරන්ට් එකකට.පොඩි කිව්වට සමහර වෙලාවට නම් එතන සෙනඟ පිරිලා. ඒත් එදා නම් එතන ඒ තරම් කලබලයක් තිබ්බෙ නෑ….

නිදහසේ කන්න විතරක් නෙමෙයි හුඟ දෙනෙක් කතාබහ ⁣කරන්නත් එන්නේ මේ රෙස්ටුරන්ට් එකට….රෙස්ටුරන්ට් එකේ ඉහල මාලයට ගොඩවුනු තුන්දෙනා පාරට පෙන්න තිබුනු මේසයක් ළඟ ඉඳගත්තා….වටේ පරිසරය එතනට හරිම ලස්සනට පේනවා..

එක් පසෙකින් කිරිබත්ගොඩ නගරයත් අනෙක් පැත්තෙන් ලස්සනට ලයිට් දාල තියන නෙලුම් කුළුණ හා කොළඹ උස් ගොඩනැගිලි ගොඩාක් හරිම ලස්සනට එතනට පේනවා….

මේනක ලඟින්ම ඉඳගත්තු හංසි “අයියේ මෙතන හරිම ලස්සනයි නේද ? මං මේ පලවෙනි පාරට මෙතනට ආවේ,ඇවිල්ලම නෑ කලින්”

මේනකගේ මූන දිහා බලන් හංසි එහෙම කියද්දී කවදාවත් නොදැකපු ලස්සනක් මේනක හංසිගෙ මුණෙන් දැක්කා…රෙස්ටුරන්ට් එකේ දිලිසෙන ලයිට් වලින් එන එළිය හංසිගේ පුංචි කරාඹු වලට වැටෙනකොට හංසිගේ මුලු මූනම දිලිසෙනවා…

මේනක ඇස් වෙන කොහේටවත් යන්න නොදී ඒ දිහා බලන් හිටියා..ඒ ඇසුත් මේනකගේ ඇස් දිහාමයි බලන්නේ
තප්පර කිහිපයක් දෙන්න එහෙම බලන් අමුතුම ලෝකෙකට ගියා…

ඇගේ සුදුම සුදු කන්පෙති හරිමසිනිදුයි..ඇස්..තොල්පෙති හා කම්මුල් දිහා බලන් ඒ රූපයේ ලස්සන විඳින ගමන් “පුදුම ලස්නක්නෙ..”මේනක හිතුවා…

හංසිගේ ඇස් දෙකට වැටුණු ඇගේ කෙස් රැලි අතින් පැත්තට කරන ගමන් “අපි මොනාද කන්නේ?” මේනක ඇහුවා…

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි දසවැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ එකලොස්වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: