hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 29, ප.ව. 4:21



බ.ඉ.කොදෙව් කණ්ඩායමේ මෙවර ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ වන විට බොහෝදෙනෙකු ප්‍රකාශ කළේ මෙම තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට පහසුවෙන් තරග 2-0ක ජයග්‍රහණයක් ලබාගත හැකිවනු ඇති බවයි.

ඒ පසුගිය (2021-23) ටෙස්ට් ලෝක ශූරයන් ලෙස කිරුළු පැලඳි ඔස්ට්‍රේලියාව, ඔවුන්ගේ රටේදීම පරාජයට පත් කිරීම එතරම්ම අභියෝගයක් වූ බැවිනි. එය සාක්ෂාත් කර ගනිමින් පළමු තරගයෙන් පහසු ජයක් ඔස්ට්‍රේලියාව හිමිකර ගත් නමුත් සියල්ල උඩු යටිකුරු කරමින් දෙවැනි තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් හිමිකර ගැනීමට කොදෙව්වන් සමත් වූයේ වසර 30කට ආසන්න කාලයක් තමන්ට සිහිනයක් වූ දෙය ඉටු කරගනිමිනි.

මෙහිදී තරගයේ විස්තර විචාරය කරමින් සිටියේ බ.ඉ.කොදෙව් හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම්වලින් බිහිවූ පුරාවෘත්ත ක්‍රීඩකයන් දෙපළක් වූ බ්‍රයන් ලාරා හා ඇඩම් ගිල්ක්‍රිස්ට්ය.

සිය කණ්ඩායමට නොතිබූ ජයක් අවසන් මොහොතේදී හිමිකර ගැනීමත් සමගින් කොදෙව් ක්‍රීඩක ලාරාට එය අදහාගත නොහැකි වූ අතර, ඔහුගේ නෙතඟ සතුටු කඳුළින් තෙත්විය.

එහිදී විස්තර විචාරක කුටියේ සිටි ප්‍රතිවාදී ඔස්ට්‍රේලියානු පාර්ශ්වය නියෝජනය කළ ඇඩම් ගිල්ක්‍රිස්ට්, තම කණ්ඩායම ලැබූ පරාජය මදකට අමතක කරමින් සිය විස්තර විචාරක සඟයා වැලඳ ගනිමින් ඔහුගේ සතුට බෙදා ගැනීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණයට පෙර 1997 වර්ෂයේ කොදෙව්වන් අවසන් වරට ඔස්ට්‍රේලියානු භූමිය තුළ ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීමේදී, පිත්තෙන් එහි නියමුවකු බවට පත්වීමටද ලාරාට හැකි විය. කොදෙව්වන්ට කඩුලු 10ක ජයක් ලැබුණු මෙම තරගයේදී ලාරා පිත්තෙන් ලකුණු 132ක් රැස් කරමින් තරගයේ වාර්තා වූ ඉහළම ඉනිමේ හිමිකරුවා බවට පත්විය.