2026 නොවැම්බර් 22, පෙ.ව. 12:21
ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ ‘එදා රෑ’ චිත්‍රපටය රුපියල් බිලියනයක ආදායම් වාර්තාවක් තබමින් සිංහල සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ සිනමා පටය බවට පත්ව තිබේ. එහෙත් සිංහල සිනමාවේ එම ඓතිහාසික ජයග්‍රහණය සැමරෙන මොහොතක, එම චිත්‍රපටයේ ආදායම සහ මිල්ටන් මල්ලවාරච්චිගේ සංගීත උරුමය මුල් කරගනිමින් ඔහුගේ දරු මුණුපුරන් අතර හටගත් පවුලේ ආරවුලක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.
චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට මුල් වූ මිල්ටන්ගේ වැඩිමහල් පුත් රනිල් මල්ලවාරච්චි තැබූ ෆේස්බුක් සටහනක් සමඟ මෙම ආරවුල කරළියට පැමිණි අතර, ඊට පෙර සැප්තැම්බර් 16 වැනිදා රනිල්ගේ බිරිඳ වන නිරාශා පෙරේරා ද සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබා තිබිණි. මල්ලවාරච්චි නාමය ඔසවාගෙන ආ අවුරුදු 28ක ගමන් මග තමාට අතිශය වෙහෙසකර වුවද එය නතර නොකරන බව ඇය එහිදී සඳහන් කර තිබුණාය. චාමින්ද රත්නසූරිය, අරුණ ජයවර්ධන, සුනෙත් සහ චාමක මංජුල යන අයට ස්තූති කරමින් ඇය එදා ලියා තිබුණේ, මල්ලවාරච්චි නාමය වෙනුවෙන් කළ කී සියල්ල ‘එදා රෑ’ නමින් යථාර්ථයක් වනු දැකීමට සූදානම් බවත්, තමා විසින් දායාද කළ මිල්ටන් නමින් ඉතිරිව ඇති එකම පුරුක හඬක් වී තවත් කාලයක් පවතිනු ඇති බවත්ය.
මිල්ටන් මල්ලවාරච්චිගේ පවුලේ වැඩිමහල් පුතු රනිල් මල්ලවාරච්චි වන අතර, ඕස්ට්‍රේලියාවේ වාසය කරන හර්ෂණී මල්ලවාරච්චි වැඩිමහල් දියණියයි. පවුලේ තෙවන දරුවා බාල දියණිය වන නදීජා මල්ලවාරච්චි වන අතර බාල පුතු ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කරන තාරක මල්ලවාරච්චිය. රනිල්ගේ පුත් පවන් මල්ලවාරච්චි ගුවන් නියමුවෙකු මෙන්ම සිය සීයාගේ ගීත ගායනා කරන ශිල්පියෙකි. ‘එදා රෑ’ චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ මෙම පවුලේ සාමාජිකයන් අතර පවතින බෙදීම ක්‍රමයෙන් සමාජ මාධ්‍ය හරහා පුපුරා යන්නට විය.
ප්‍රසාද් සමරතුංග විසින් නොවැම්බර් 19 වැනිදා පළ කරන ලද සටහනක් මගින් ප්‍රථම වතාවට මාධ්‍යයට අදහස් දක්වා තිබූ මිල්ටන්ගේ බාල දියණිය නදීජා මල්ලවාරච්චි පවසා තිබුණේ තමා පවුලේ උරුමයෙන් ඈත්ව සිටින බවයි. වර්තමානයේ විදෙස්ගතව ජීවත් වන බවත් එම ජීවිතය දැන් තමාට හුරු බවත් කෙටියෙන් පවසා තිබූ ඇය, ඊට එහා වැඩි විස්තරයක් සඳහන් නොකරන ලෙස ඉල්ලා තිබූ බව එම සටහනේ දැක්වේ. ඇය පියා මෙන් ගායනයේ නියැලෙන්නේ හෝ වැඩි ප්රසිද්ධියකට ප්‍රිය කරන්නේ නැති බවද එහි සඳහන් විය.
කෙසේ වෙතත්, නදීජා සහ රනිල්ගේ පුත් පවන් මල්ලවාරච්චි අතර ගැටුම ප්‍රසිද්ධියේ ඇවිළී ගියේ පවන් තැබූ ආවේගශීලී ෆේස්බුක් සටහනකිනි. තමාට වයස අවුරුදු 15ක්ව තිබියදී නැන්දා වන නදීජා සිය සටහනකට දැමූ ප්‍රතිචාරයක් අමුණමින් පවන් සඳහන් කර තිබුණේ “තාලෙකට අත්පුඩියක්වත් ගහගන්න බැරි අය අද උරුමය ඉල්ලනවා” යනුවෙනි. හර්ෂණී, නදීජා සහ තාරකගේ අවධානය පිණිස බව සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් අභියෝග කර තිබුණේ, තම පියා කරන තෙක් බලා නොසිට හැකි නම් පළමුව මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන් දානයක් හෝ ලබා දී යමක් කර පෙන්වන ලෙසයි.
මේ අතර, සමාජ මාධ්‍යයේ පළ වූ තවත් සටහනකින් චෝදනා කර තිබුණේ චිත්‍රපටයෙන් පසු කරළියට පැමිණි මිල්ටන්ගේ සෙසු දරුවන් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා රනිල්ට, නිරාශාට සහ පවන්ට මඩ ප්‍රහාර එල්ල කරන බවයි. තාරක මල්ලවාරච්චි තමාව ගීත ගායනයෙන් හා චිත්‍රපටයෙන් කපා හරින බවට චෝදනා කළ බවද, රනිල්ට සහ නිරාශාට බැන වැදුණු ව්‍යාජ ගිණුමක කමෙන්ටුවකට නදීජා සිනාසෙන ප්‍රතිචාරයක් දක්වා තිබූ බවද එම ලේඛකයා කියා සිටියේය. නදීජා පවුලේ උරුමයෙන් ඉවත් වීමට හේතුව ලෙස එම සටහනේ සඳහන් කර තිබුණේ, නදීජා විවාහ වී සිටි චමත් අධිකාරිගේ පියා වන ඕස්ට්‍රේලියාවේ පදිංචි නෙල්සන් වීරවර්ධන අධිකාරි සමඟ මිල්ටන්ගේ අභාවයෙන් පසු ස්වර්ණා මල්ලවාරච්චි ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන විවාහ වීම නිසා ඇති වූ ලැජ්ජාව බවයි.
එහෙත් එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් තුෂාර මානවඩු නමැත්තෙකු සමාජ මාධ්‍යයේ තැබූ සටහනකින් ඊට හාත්පසින්ම වෙනස් පැත්තක් ඉදිරිපත් කර තිබිණි. නදීජාගේ මව එනම් මිල්ටන්ගේ බිරිය ස්වර්ණා මිල්ටන් මියගිය පසු නදීජාගේ මාමණ්ඩිය වූ වීරවර්ධන මහතා විවාහ කරගත් නිසාම, ඔහුට ඕස්ට්‍රේලියානු රජය සමඟ තිබූ ඉහළ සබඳතා හරහා වයස අවුරුදු 18ට වැඩි දරුවන් වූ රනිල්ට සහ නිරාශාට පවා පවුල් පිටින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට හැකි වූ බව ඔහු චෝදනා කළේය. මෑතකදී රැකවරණ මධ්‍යස්ථානයකදී මියගිය එම වීරවර්ධන මහතා තම පියා සමඟ මහ බැංකුවේ සේවය කළ පවුලේ හිතවතෙකු බව සඳහන් කළ තුෂාර, සෙසු සියලු දෙනා ඉවත් කර රනිල් සහ නිරාශා මිල්ටන් මල්ලවාරච්චි තමන්ගේ තනි බූදලයක් ලෙස සලකා කටයුතු කිරීම කැත බවට ද චෝදනා කර තිබිණි.
මෙම මතගැටුම මධ්‍යයේ රනිල් මල්ලවාරච්චිගේ පවුලේ හිතවතුන් සහ ඥාතීන් කිහිප දෙනෙකු ඔහුට සහාය පළ කරමින් අදහස් දක්වා තිබේ. තම අක්කාගේ දියණිය විවාහ කරගෙන පවුලට එක් වූ දා සිටම රනිල්ගේ පවුලේ තිබූ අසමගිය සහ සෙසු සහෝදර සහෝදරියන්ගේ හැසිරීම තමන් දුටු බව පද්මා යහම්පත් සඳහන් කර තිබූ අතර, රනිල් පියා වෙනුවෙන් කළ දේවල් පවුලේ සැවොම දන්නා බවත්, ඔවුන් කෙරෙහි අනුකම්පා කර නිශ්ශබ්දව තම කටයුතු කරගෙන යන ලෙසත් ඇය ඉල්ලා තිබුණාය. කුඩා කල සිටම ඔවුන්ව හඳුනන බව කියන අනෝජා චන්ද්‍රකාන්ති එදිරිසිංහ ද සඳහන් කර තිබුණේ එක අතක ඇඟිලි පහ මෙන් එකම පවුලේ දරුවන් ද වෙනස් බවත්, පවුලේ වැඩිමලා ලෙස එකට එක කිරීමට ගොස් මිල්ටන් මල්ලවාරච්චි නාමයට හානි නොකර නිරාශා සහ දරුවන් සමඟ සතුටින් ජීවත් වන ලෙසත්ය.
කෙසේ වෙතත්, මෙම ගැටුම සමාජ මාධ්‍ය වෙත ගෙන ඒම සම්බන්ධයෙන් රසිකයන් සහ සමාජ මාධ්‍ය පරිශීලකයන් බහුතරයකගේ අප්‍රසාදය පළ වී තිබේ. සමාජ මාධ්‍ය මගින් දෙපාර්ශ්වයම කුලප්පු කර ආදායම් මාර්ග පුළුල් කරගැනීමට දරන උත්සාහයේ ඉත්තෙකු නොවී, “ගෙයි ගින්දර පිටට නොදී” නිහඬව සිටින ලෙස රනිල්ගෙන් ඉල්ලා තිබිණි. තිලාන් චමින්ද සෙනෙවිරත්න පෙන්වා දී තිබුණේ මෙලෙස කුණුකසළ ඇදීම අසහාය ගායනවේදී මිල්ටන් මල්ලවාරච්චිට කරන අගෞරවයක් බවයි. පියාගේ ජීවිතය සිනමාවට ගෙන ඒමට පෙර ආදායම් වියදම් පිළිබඳව පවුල තුළ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණියේ නම් මෙලෙස ප්‍රසිද්ධියේ රෙදි සෝදා ගැනීමක් සිදු නොවනු ඇති බව සන්ධ්‍යා දීපානි පතිරණ සඳහන් කර තිබුණාය.
තවත් ලෙලුම් රත්නායක කෙනෙකු නොවී ඇතුළේ ගිනි ඇතුළේම තබා ගන්නා ලෙස අනතුරු අඟවා තිබූ අතර, චිත්‍රපටයත් සමඟ මිනිසුන් මිල්ටන් මල්ලවාරච්චිට තවත් ළං වූ මොහොතක ප්‍රසිද්ධියේ පවුල් ප්‍රශ්න විසඳා ගැනීමට යාමෙන් වැඩිම හානිය සිදුවන්නේ රනිල්ට සහ පියාගේ ප්‍රතිරූපයට බව නීලක්ෂි පෙරේරා පෙන්වා දී තිබිණි.
මේ සියල්ල මධ්‍යයේ තවත් සමාජ මාධ්‍ය සටහනකින් අවධාරණය කර තිබුණේ, ‘එදා රෑ’ චිත්‍රපටය නොහැදුණත් මිල්ටන් මල්ලවාරච්චිගේ නම සහ හඬ තවත් කල්පයකට මිනිසුන්ට අමතක නොවන බවයි. ඔහුගේ බිරිඳගේ දෙවැනි විවාහය හෝ දරුවන්ගේ පැටිකිරිය රසිකයන්ට අදාළ නැති බවත්, පවුලේ උදවියගේ මෙම ක්‍රියා කලාපය නිසා චිත්‍රපටයෙන් පසු ඔහුගේ ගීත ගැන කතා කරනවා වෙනුවට පැරණි රණ්ඩු ගැන කතා වෙමින් අවසානයේ දැලි ගෑවෙන්නේ මිල්ටන්ගේම මුහුණේ බවත් එහි සඳහන් විය. ප්‍රශ්න ෆේස්බුක් වෙත නොගෙන අදාළ අය සමඟ කතා කර විසඳා ගන්නා ලෙස පවුලේ සැමගෙන් ඉල්ලා සිටි එම සටහන, මියගිය කලාකරුවන්ට සැනසිල්ලේ සැතපී සිටීමට ඉඩ දෙන ලෙස චිත්‍රපට නිර්මාණකරුවන්ගෙන් ද ඉල්ලීමක් කර තිබිණි.
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:05
2026 නොවැම්බර් 21, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 20, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 19, පෙ.ව. 12:12
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:22
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26