hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 06, පෙ.ව. 5:23



15 හැවිරිදි බාල වයස්කාර පෙම්වතිය හමුවීමට සවස් කාලයේ නිවසට පැමිණ, විදුලිය විසන්ධි වන තෙක් පැය ගණනාවක් පෙම්වතියගේ ඇඳ යටට සැඟව සිටි පෙම්වතෙකු, දැරියගේ පියාට හසුවී පොලිසියට භාර දී තිබෙනවා.

ඉන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම දැරිය ස්ත්‍රී දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තරුණයෙක්.

සිද්ධියට මුහුණ පෑ දැරිය මීට මාස පහකට පමණ පෙර තම මවගේ ජංගම දුරකතනයේ ඇති, ‘වට්ස්ඇප්‘ තාක්ෂණය ඔස්සේ අදාළ තරුණයා දැන හඳුනා ගෙන ඔහු සමග ප්‍රේම සබඳතාවක් ගොඩ නගා ගෙන තිබූ බව පොලිසිය කියයි.

එම ප්‍රේම සබඳතාව දැන ගැනීමෙන් අනතුරුව දැරියගේ මව විසින් කිහිප වතාවක් එය නතර කරන ලෙසට දැනුම් දුන්නද එය නතර නොකළ බව දැරිය පොලිසිය හමුවේ පවසා තිබුණා.

පසුගිය දිනෙක සවස් කාලයේ දී දැරියගේ නිවසට පැමිණ ඇති සැකකරු විදුලිය විසන්ධි කෙරෙන තුරු පැය ගණනාවක් දැරියගේ ඇඳ යටට වී සිට, රාත්‍රී 9.00ට පමණ විදුලිය විසන්ධි වූ පසු ඇඳ උඩට පැමිණ ඇති බවත්, විදුලිය පැමිණි පසු යළි ඇඳ යටට ගොස් ඇති බවත් සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඇඳ යට සිටි පෙම්වතා හට රාත්‍රී කාලයේ දී තිබහක් ඇතිවී, ජලය පානය කිරීමට යෑමේදී අළුයම 3.00ට පමණ නිවසේ ඇතිවූ ශබ්දයක් ඇසී, දැරියගේ පියා විදුලි පන්දමක් දල්වා කාමරය දෙස බැලූ අවස්ථාවේදී ඇඳ යට සිටි පෙම්වතා දැක අල්ලා ගෙන පහර දී තිබු බව පොලිසිය කියයි.

එම පියා විසින් රාත්‍රියේම දැරියගේ ලොකු අම්මාද රාත්‍රියේ නිවසට කැඳවා පසුව සැකකාර තරුණයා නිවසේ සාලයේ පුටුවක් මත වාඩි කරවා, මෙම සැකකරුගේ දෙමව්පියන්ද නිවසට කැඳවා සැකකරු පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණා.

සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තමා විසින් සිය පෙම්වතිය ස්ත්‍රී දූෂණයට ලක් කළ බවට සඳහන් කර ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: