hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 මාර්තු 19, පෙ.ව. 12:05



කැනඩාවේ ඔටාවා හී බාර්හෙවන් ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක මව සහ දරුවන් සිව්දෙනා ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඝාතනය කෙරුණේ පසුගිය 06 වැනිදා රාත්‍රියේදීයි.

ඝාතනය සම්බන්ධයෙන් 19 හැවිරිදි ෆැබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික සිසුවෙක් අත්අඩංගුවට ගැණුනු අතර ඔහු මේ වනවිට බන්ධනාගාරගත කර සිටිනවා.

මේ සිද්ධියෙන් පස්සේ එම පවුලේ පියා වූ ධනුෂ්ක වික්‍රමසිංහ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

ඔහු අවසන් වතාවට පෙරේදා තමන්ගේ පවුලේ සියලු දෙනාටම සමු දෙන්න පැමිණි තිබූ අයුරු කාගේත් අවධානයට ලක්වුණා.

මෙලෙස ඝාතනයට ලක් ව තිබුණේ පවුලේ මව වූ 35 හැවිරිදි දිලන්තිකා දර්ශනී ඒකනායක සහ ඇයගේ දරුවන් වූ හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ , 04 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රිනායා වික්‍රමසිංහ සහ මාස දෙකක් වයසැති බිලිඳියක වන කේලි වික්‍රමසිංහයි.

එමෙන්ම එම පවුලේ සමීපතමයෙකු වූ 40 හැවිරිදි ගාමිණි අමරකෝන් ද මෙහිදී ඝාතනයට ලක්වුණා.

ඝාතනය සිදුවී දින 10කට පසු දේහයන් අවසන් කටයුතු සඳහා ඥාතීන්ට භාරදුන් අතර අවමංගල්‍ය උත්සවය ඔටාවාහී හිල්ඩා ජයවර්ධනාරාමය සහ කැනඩා බෞද්ධ කොංග්‍රසයේ පූර්ණ මැදිහත්වීම යටතේ සංවිධාන කෙරුණා.

මෙරට වේලාවෙන් පෙරේදා රාත්‍රී 10.30ට ඔටාවා හී ඉන්ෆිනිටි කන්වෙන්ෂන් ශාලාවේදී අවමංගල්‍ය උත්සවය ඇරඹුණු අතර එම අවස්ථාව සඳහා පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ප්‍රථමවරට මාධ්‍ය හමුවේ පෙනීසිටියා.

මෙම අවස්ථාවට මියගිය අයගේ පවුලේ ළඟම ඥාතීන්, හිතවතුන්, ඔටාවා හී නගරාධිපතිවරයා හා පොලිස් ප්‍රධානියා සහ කැනඩා සිංහල ප්‍රජාව නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියා.

බෞද්ධ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පාංශුකූලයදීම සිදු කෙරුණේ ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාමයේ පූජ්‍ය මහගම සුනීත හිමිගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම වෙනත් ආගම්වල නියෝජිතයින් ද මීට එක්ව සිටියා.

මෙම සංවේදී අවස්ථාවේදී ධනුෂ්ක වික්‍රමසිංහ කැනඩානු රජයට සහ සිද්ධිය වූ දින සිට උදව් උපකාර කළ සියලුදෙනාට ස්තූතිය පළ කළා.

“මගේ ආදරණීය බිරිඳ දර්ශනී, මගේ සිඟිත්තන් වූ ඉනුක, රියානා, අශ්විනී සහ කේලි මට අහිමි වීම ගැන මම දැඩි ලෙස කම්පාවට පත්වෙලා ඉන්නේ.. ඒ වගේම මගේ මිත්‍රයෙකු වූ ගාමිණීගේ වියෝව ගැන මම කම්පාවට පත්වෙනවා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: