hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:10



සුපිරි වෙළඳසැලක් තුළ කාන්තාවකට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

අදාළ වෙළඳසැලෙහි සිටින සේවක සේවිකාවන් විසින් ද එම කාන්තාවට පහර දෙනු ලබනවා.

යම් අවස්ථාවක දී අදාළ කාන්තාව නිරුවත් වන ආකාරයක් ද දැක්වෙනවා.

අදාළ පහර දීම සිදුවන අවස්ථාවේ දී සුපිරි වෙළඳසැලෙහි දොටුව ද වසා තබා තිබෙනවා.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ බොහෝ පිරිස් අදාළ සුපිරි වෙළඳසැල් ජාලය වර්ජන කරන බව පවසමින් සටහන් එක් කර තිබෙන අයුරු ද දැකගත හැකියි.

මේ සම්බන්ධයෙන් අදාළ සුපිරි වෙළඳසැලේ කළමනාකාරීත්වයට සෘජුවම ඇඟිල්ල දිගු වුණා.

ප්‍රතිචාර දැක්වූ ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් සඳහන් කර තිබුණේ මෙහි සම්පූර්ණ වගකීම අදාළ කළමාණාකාරීත්වය ගත යුතු බවයි.

කෙසේ වෙතත් ඔවුන් මේ ගැන පැහැදිලි කිරීමක් කරමින් ලිපියක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත්, අදාළ සිදුවීමට විරෝධය පළ කරමින්, බොහෝ පිරිසක් සමාජ මාධ්‍යයේ සටහන් පළ කරමින් සිටිනවා.

රසික ජයකොඩි සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.

කාගිල්ස් එකේ සේවකයන් පිරිසක් විසින් කාන්තාවකට වට කරගෙන පහර දෙන වීඩියෝ එකෙන් පෙන්වන කාරණා කිහිපයක් තියෙනවා.

පළමුවෙනි එක තමයි කාගිල්ස් එක සේවකයන්ට නිසි පුහුණුවක් නොදී, බ්‍රොයිලර් කුකුලන් මෙන් ඔවුන් වැඩට දාලා තියෙන බව. නිසි පුහුණුවක් ලබලා තියෙන කිසිම සේවකයෙකු ඔය විදියට හැසිරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සුපර්මාකට් එකක හොරකමක් සිද්ධ වුණත් අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. සේවකයන්ට නීතිය අතට ගන්න අයිතියක් නැහැ. මෙතැන වෙලා තියෙන ප්‍රධාන ම ප්‍රශ්නයක් වන්නේ මේ කිසිවක් ගැන පුහුණුවක්, දැනුමක් ලබා නොදී මේ සේවකයන් වැඩට දාලා තියෙන එකයි. ඒ නිසා ප්‍රශ්නයක් වුණාම ඔවුන් ඒක ඔවුන් දන්න, ඔවුන්ට පුරුදු ක්‍රමයට විසඳන්න යනවා.

අංක දෙක, මේ සේවකයන් විශාල පීඩනයක, ආතතියක සිටින බව පෙනෙනවා. මේ විදියට තිරශ්චීන ආකාරයට හැසිරෙමින් ඔවුන් පිටකරන්නේ ඒ ආතතියයි. අඩු වැටුපකට ඔවුන්ගෙන් වහල් වැඩ ගන්නා විට මේ විදියේ ආතතියක් හොඩනැගෙනවා. හොරකමක් සිදුවුණත් බොහෝ විට ඒකට දඩ ගෙවන්නට සිදුවෙනවා ඇත්තේ මේ සේවකයන්ට බව පැහැදිලියි. අවස්ථාව ලැබුණ ගමන් ඔවුන් මේ පීඩනය ඉතා ම ප්‍රචණ්ඩ ස්වරූපයෙන් අනුන්ට මුදා හරිනවා. ඔවුන්ගෙන් මේ අන්දමේ ප්‍රතික්‍රියාවක් එන්නට ප්‍රධාන ම හේතුවක් වන්නට ඇත්තේ එයයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරලා ඉතා ම දියාරු ප්‍රකාශයක් ඊයේ සවස කාගිල්ස් විසින් නිකුත් කරලා තියෙනවා. ඒ වගේ ළඳ බොළඳ ප්‍රකාශයකින් විතරක් මේකෙන් ගැලවෙන්න බැහැ. මේ සේවකයන් අත්අඩංගුවට ගෙන මේ සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණයක් සිදු කළ යුතුයි. මේ ගැන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. සේවකයන් පුහුණු කිරීමට සහ ඔවුන් ගේ මෙහෙයුම්වලට අදාළව කාගිල්ස් තුළ සිටින ඉහළ ම බලධරයා ගෙදර යා යුතුයි. ඇත්තට ම කාගිල්ස් මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුතැවෙනවා නම්, කණගාටු වෙනවා නම් කළ යුත්තේ ඒකයි. එතැනින් මෙහා සිදු කරන දේවල් හුදෙක් සංදර්ශන විතරයි.

ශීලාචාරකමට ගරු කරන රටක මෙහෙම දෙයක් වුණා නම් මෙතැනින් එහාට කාගිල්ස් එකට යන්න කලින් ඕනෙම කෙනෙකු දෙපාරක් හිතනවා. මිනිසුන් ස්වේච්ඡාවෙන් ම මෙහෙම තැන් වර්ජනය කරනවා. ඒත් ලංකාවේ එහෙම දෙයක් වෙයිද කියලා සැකසහිතයි. ලංකාවේ හුඟ දෙනෙකුට ප්‍රතිපත්තිවලට වඩා තමන් ගේ අවශ්‍යතා ඉටු කරගැනීම ලොකුයි. “හරි දෙය” කිරීමට වඩා තමන් ගේ පහසුව/වාසිය ලොකුයි. ඒ හින්දා කාගිල්ස් එකට මේ සිදුවීම නිසා වෙළෙඳපොළේ ලොකු පීඩනයකට මුහුණ දෙන්න වෙයි කියලා මම හිතන්නේ නැහැ. මං හිතන්නේ මේක කාගිල්ස් එක වුණත් දන්නවා.

ඒ හින්දා වැඩි කාලයක් යන්න කලින් මේ සිද්ධිය ‍යට යනවා. හැමෝට ම මේක අමතක වෙනවා. සමාජ මාධ්‍යයත් ඊළඟට ට්‍රෙන්ඩිං වෙන මාතෘකාවට යනවා. කාගිල්ස් සේවකයන් මේ විදියට ම ඉස්සරහටත් වැඩ කරනවා. ආයතනය බ්‍රොයිලර් කුකුලන් වගේ සේවකයන් බඳවගෙන මේ විදියට ෆුඩ්සිටිවල ඔවුන් ගාල් කරලා වහල් වැඩ ගන්නවා. ආයිත් මීට වඩා ලොකු සිද්ධියක් වෙන තුරු හැමෝම කිසිම දෙයකට වගවීමක් නැතුව, තමන්ට පුරුදු දේ කරමින් ඉන්නවා.

අපේ රටේ business as usual කියන්නේ ඒකයි.

මේ කිසි දෙයක් හුදෙකලා සිදුවීම් නෙවෙයි. ලංකාවේ සාමාන්‍යයෙන් වැඩ සිදුවන ක්‍රමය මේක තමයි.

අප සාගරයක් මැද එක තැන පල්වෙමින් සිටියදී අපට පසුපසින් සිටි හුඟක් රටවල් මේ වෙලාවෙත් අප පසුකරමින් වේගයෙන් ඉස්සරහට යමින් සිටින්නේ ඒ නිසයි.

මේත් එවැනි තවත් කමෙන්ට්ස් සහ ෆේස්බුක් පොස්ට් කිහිපයකි.

‘නිසි පුහුණුවක් නැතිව අඩු පඩියට මිනිස්සු ගත්තොත් උන් හැසිරෙන්නේ මැරයෝ වගේ. මෙම සිදුවීමේ සම්පූර්ණ වගකීම *** කළමනාකාරීත්වය සතුයි. ඔවුන් සම්බන්ධයෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි සොයා බලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න. ඔවුන් අත්අඩංගුවට ගත යුතුයි. කාන්තා ක්‍රියාකාරින් කෝ ?

If people are hired for low wages without proper training, they will behave like Maraiyo. *** management is fully responsible for this incident. These Maraiyo should be arrested. where the women activists?’

‘When a customer enters my store, forget me. He is king.” – John Wanamaker ඉගෙන ගන්න ****තුලේ උන දේ ගැන අපි දන් නෑ.හැබැයි කාන්තාවකට මෙහෙම පහර දෙන්න තරම් පහත් තැනකට වැටුන එක ඉතාම නින්දිතයි.නමට පිරිමියෙක් උන එකෙකුත් කොන්ඩෙන් අල්ලන් ඒ කාන්තාවට පහර දෙනවා.මුලින්ම පහර දෙන්නෙත් සාරියක් ඇදගත්ත ආයතනයේ කලමනාකාරිය වගේ පේන තැනැත්තියක්.කනගාටුව ප්‍රකාශ කරලා Statement දාලා කමෙන්ට් ඕෆ් කරන් හිටියට වැඩක් නෑ.හරියට ක්‍රියාමාර්ග අරගෙන මේවගේ දේවල් ආපහු වෙන්නේ නැති තැනට වැඩ කරන්න.’

සමාජ මාධ්‍ය

ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලක් තුළ දී තරුණියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනෙක් ඇතුළු 5 දෙනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ බොරැල්ල කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් තුළදී යි.

පසුගිය 18 වනදා එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන තරුණියට මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

නීතිය-රීතිය හෝ අනෙක් සියල්ල පසෙකට දැමුවහොත් සත්‍ය වශයෙන්ම මනුෂ්‍යත්වය අතින් අපි කොතනද යන්න මනාවට පෙන්වන සිදුවීමක් නොවේද මෙය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: