hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 25, පෙ.ව. 12:04



දින කිහිපයක සිට අසනීප තත්ත්වයක් හේතුවෙන් කලුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ වෙනුවෙන්, ”සුව ප්‍රාර්ථනා” කරන්නන්ගේ පණිවිඩවලින් සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගිහින්.

ඒ බොහෝ ප්‍රාර්ථනාවල ගැබ්ව ඇත්තේ ඔහු ඉක්මන් සුව ලබා යළි වේදිකාවට ගොඩවන තුරු ආදරණීයන් මඟබලාගෙන ඉන්න බව.

හදවතේ ගායකයා මැයෙන් කාගෙත් ආදරය දිනූ ඔහු වෙනුවෙන්, සෑම ආදරණීය රසික හදවතකම රැව්දෙන පැතුම එයයි.

මීට දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පී චාමර වීරසිංහ කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කළා.

එහිදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව එම රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබුණා.

ඔහු වෙනුවෙන් අනෙකුත් කලාකරුවන්ද මුහුණු පොතෙහි විවිධ සටහන් තබා තිබෙනවා.

ලකා ධර්මරත්න සිය මුහුණුපොතේ තබා තිබූ සටහන පහතින්,

මගේ ජීවිතේ ‘චාමර’ කොටස….

මගේ ජීවිතේ කෑලි කෑලිවලට කඩන විට විවිධ කලාකරුවන් ඒ කෑලි වල තැන් තැන්වල සිට හමුවෙයි. නිකං හුඹහක් කඩනකොට සර්පයෝ හම්බෙනවා වගේය. ඒ ප්‍රබුද්ධ පොරවල්ලා නොවේය. නලීන් පෙරේරා, සංගීත් විජේසූරිය, කිංස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ සහ චාමර වීරසිංහ යනු මගේ ලෝකය හාරාගෙන යනවිට එහි ගැඹුරු ලේයර්වල හමුවෙන සිංදු කාරයෝයි. නලියා, කිංස්ලියා, අජියා, සංගීත්, චාමරයා (අපි ඒ කාලේ පවුලේ උංට මෙන් ගායක ගායිකාවොන්ට නලුනිලියන්ට කතාකරන්නේ එහෙමය) ට මගේ ජීවිතේ වෙන් වෙන් වුණ චැප්ටර් ඇත. මේ චාමරයාගේ චැප්ටර් එකය….

චාමරයා මට වඩා අවුරුද්දක් වැඩිමල්ය. චාමරයා කරලියට එන 2002-2003 යනු මගේ ජීවිතයේ කෙලවීම ඇරඹුණ සමය වීය. තාත්තා මියගොස්, උසස්පෙල සිහිනය කෙලවී රස්සා හොයමින් නන්නත්තාරව අතේ සතේ නැතිව බස් එකකට නගින විට චාමරයා බස් එකේ සිංදු කියමින් උන්නේය. අපි හම්බුණේ මුලින්ම එහෙමය. කුල්ල කුජීතව පාරක අයිනේ ඉන්න විට රෙකෝඩ් බාර් එකක සිට චාමරයා සිංදු කියන්නේය. අතේ ඇති අන්තිම සතේට ගණන් හදා කඩේකට රිංගා කෑමක් කනවිට චාමරයා ඒ කඩේ සිංදු කියන්නේය. ටකරං බස් එකේ කුණ ඒසී සැපකට ගෙනදුන්නේ චාමරයාය. පාරේ කාෂ්ඨකේ කුණට ආතල් එකක් දුන්නේ චාමරයාය. ඒ කාපු බල්ලෙක්ට කටේ තියන්න බැරි හොද්ද රසකලේ චාමරයාය.

ඊටපස්සේ මට රස්සාවක් ලැබුණේය. දැන් කීයක් හරි අතට එනකොට මම ගල්ගමුවේ ඥාති කඩේකින් සීඩී තුනක් කැරකෙන සෙටප් එකක් ගෙනාවෙමි. ඒකේ තුන්වැනි හෝ හතරවෙනි සීඩී එක චාමරයාය. ඉතිං මම ලව් කරනවිට චාමරයා කඩයක සිට ගැයුවේය. මම රෑ බෝඩිංවල ලව් කෙලවී අඬනවිටත් චාමරයා ඈත ගෙවල්වල, හංදිවල සිට ගැයුවේය. මම ගුටිකා පාරවල් දිගේ දුවන විටත් චාමරයා කොහේ හෝ සිට ගැයුවේය….. මගෙ “ජීවිත චිත්‍රපටියේ” මම විජේකුමාරතුංගනං, මගේ ජෝතිපාල අනිවාර්යයෙන් චාමරයාය….

ඉතිං ඊටපස්සේ මොකක්දෝ ඇක්සිඩන්ට් එකකින් මම කලාවට වැටුණේය. දැන් මට කලා පොරවල් සෙට් වෙන්නට විය. ප්‍රබුද්ධ බුවාලා හමුවන්නට විය. දැන්නං මේ චාමරයලා නලියලා අජියලා වගේ උං හලන්නටම ඕනෑය. හේතුව මමත් ප්‍රබුද්ධ වෙන්නට අවශ්‍යය. ඉතිං ප්‍රබුද්ධ කලාපොරවල් හා සෙට්වී, උංගේම ගානෙන් අරක්කු ටිකකුත් බී,කලා පොරටෝක් දී එකොලහට විතර පාරට ඇවිත් බස් එකකට නගිනකොටම මෙන්න ආයෙ චාමරයාය. ආයෙ ගෙදර යනකල් තනියට ඉන්නේ චාමරයාය. කොට්ටාව බෝඩිමට එහාගෙදරින් රෑකට දෙතුන්පාරක්වත් ඇහෙන්නේ චාමරයාය. චාමරයාගෙන් ගැලවීමක් නැත….

ඊටපස්සේ මගේ වයස්වල උංට ප්‍රබුද්ධ එකා තීරණය කිරීමේ බලය ලැබුණ අතර උං චාමරයා ප්‍රබුද්ධ කලේය. ඉතිං කිසිම අවුලක් දැන් නැත. එතකොට චාමරයාගෙන් තවත් ගැලවීමක් නැතිවුණේය…..

ඉතිං ඔහොම ඇවිත් 2017 දවසක කූඹියෝනාට්ටියට චාමරයාගෙන් කමෙන්ට් එකක් වැටුණේය. මට චූ බිංදුවක් වැටුණේය….. එදා මට මාර ආතල් එකක් දැනුනේය. හේතුව ජීවිතේ විසාල කලාපයක් පුරාවට දැනුන මිනිහෙක් සැබෑවට හමුවීමය…..

මචන් චාමරයා…. උඹ හැමෝගෙම හදවතේ ගායකයා වෙන්නේ එහෙමය….. එනම් ජීවිතේ විසාල කාලයක් පුරා නොනැවතී එකදිගට හදවතේ කොණක පැවතීමෙනි.

අද චාමරයා මට කිලෝමීටර් පහක් එහායින් කලුබෝවිල රෝහලේ ඇඳක් උඩය. මම බොරලැස්ගමුවේය. අපි සිටින්නේ හුළං වදින දුරකිනි….. මචන් චාමරයා‘… උඹේ මගේ ජීවිතේ මාර කොටසකි…… ඇත්තටම උඹ අපේ හදවත්වල වල නොමැකිය හැකි මාරම කොටසකි…… සුවවී වරෙන් මචන්…..

එතෙක් හැමදාම උඹ අපි හැමෝගෙම ජීවිතවල

දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතාය….”

ආදරෙයි……

ලකා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: