hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 16, ප.ව. 1:41



මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියදී හදිසි අනතුරකට ලක් වූ සිසුවකුට පොලිස් නිලධාරියකුගේ ක්ෂණික මැදිහත් වීම මත යළි විභාගයට පෙනී සිටීමට හැකි වීමේ පුවතක් බොරලැස්ගමුවෙන් වාර්තා වෙනවා.

නිලිෂ දේශාංජන බෝකුන්දර මහින්ද කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින දරුවෙක්.

ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා බොරලැස්ගමුව‍ මහා විද්‍යාලයේ විභාග ශාලාව වෙත පැමිණ පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා අවසන් කර තිබිණි. අනතුරුව ලද විවේකයේදී තවත් සිසුවකු සමඟ වැසිකිළියට යෑමට දිව යෑමේදී ගොඩනැඟිල්ලේ කෙළවරේ පය පැටලී වැටී හිස පැළී ලේ ගලන්න වීමෙන් ඔහු මහත් බියට පත්ව හඬා වැටෙන්නට වුණා.

ඒ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ විභාග ආරක්ෂණ අධීක්ෂණ රාජකාරි සඳහා පැමිණ සිටි බොරලැස්ගමුව පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂක ධර්මදාස එගොඩආරච්චි මහතා දරුවා අස්වසා, වහා විභාග ශාලාධිපතිවරයා දැනුවත් කර, ඔහුගේ අවසරය මත තම පෞද්ගලික මෝටර් රථයෙන් දරුවා විනාඩි කීපයක් ඇතුළත වේරහැර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහල කරා රැගෙන ගොස් එහි වෛද්‍යවරුන්ට දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවකු බවට කරුණු පවසා, ක්ෂණිකව ප්‍රතිකාර කරන ලෙස ඉල්ලා තිබිණි.

ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ වෛද්‍යවරුන්ද යුහුසුලුව දරුවාට ප්‍රතිකාර කර ඇත.

ඒ අනුව යළි දරුවා විභාග ශාලාව වෙත රැගෙන ඒමට උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළ අතර, ඒ කාලය අතරතුර විභාග ශාලාධිපතිවරයා අවශ්‍ය වගකිව යුතු ස්ථානවලට දුරකතනයෙන් අමතා හදිසි අනතුරට ලක් වූ දරුවා වෙනුවෙන් අමතර කාලයක් ලබාගෙන ඔහුට අසාධාරණයක් නොවන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු කර තිබිණි.

විභාගය අවසන දරුවා කැටුව යෑමට පැමිණි මිත්තණිය උප පොලිස් පරීක්ෂකවරයාට සිට ප්‍රණාමය පුද කර සිටියේ කඳුළු පිරි දෙනෙතිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: