hit counter

2026 අගෝස්‍තු මස 05 වන බදාදා

2026 අගෝස්‍තු 06, පෙ.ව. 12:11



ඉපැරණි පෙම්වතිය නැවත දැකගැනීම සිය අවසාන බලාපොරොත්තුව බව කියා, දහස් ගණනකගේ හදවත් ස්පර්ශ කළ, ගයාන් මුණසිංහ සහෘදයා 04 දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ප්‍රවීණ සංගීතඥ දයාන් විතාරණයන් විසින් මේ බව සංවේගයෙන් යුතුව දැනුම් දී තිබේ. ඔහු ගැන රටට ම කියුවේද, දයාන් විතාරණයන් විසිනි.

මහරගම අපේක්ෂා රෝහලේ ශාන්ත සෙවණෙහි ප්‍රතිකාර ලබමින් සිටි ගයාන් මුණසිංහ, පසුගිය මස 26 වැනිදා දයාන් විතාරණයන් ප්‍රමුඛ ප්‍රියනාත් රත්නායක, සෙව්වන්දි රණතුංග යන කලාකරුවන් හමුවේ ඉල්ලීමක් කර තිබුණි.

ඒ, සිය ඉපැරණි පෙම්වතිය ඔස්ට්‍රේලියාවේ වෙසෙන බවත් ඇයව එකම එක වරක් හෝ දැකගැනීම අවසාන බලාපොරොත්තුව වන බවය.

මීට වසර 20කට පමණ ප්‍රථම ඔහු ඇයගෙන් ඉතා සාමකාමී ලෙස වෙන්වූ බව ද පවසා තිබිණි.

නිරංජලා සරෝජිනී ගායනා කරන ‘ඔබ දැක ගැනීමෙන්’ ගීතය සෙව්වන්දි රණතුංගගේ හඬින් රසවිඳීමටත් දයාන් විතාරණයන්ගේ ‘සිත්තම් කරමින්’ ගීතය රසවිඳීමටත් ඔහු මහත් රුචියක් දක්වා තිබේ.

සිය ඉපැරණි පෙම්වතිය දැකගැනීමේ, අවසාන බලාපොරොත්තුව පිළිබඳව ඔහු පවසා ඇත්තේ ද එම අවස්ථාවේදීය.

කෙසේ නමුත් ගයාන් මුණසිංහ මෙලෙස අවසන් ගමන් යන්නේ, එම අවසාන බලාපොරොත්තුව හැබෑවක් නොවීම ය.

ඔහුගේ ඉල්ලීම පිළිබඳව, දයාන් විතාරණයන් විසින් සමාජ මාධ්‍යයේ තබන ලද සටහනට බොහෝ පිරිසකගේ අවදානය යොමුව තිබිණ. ඊට ප්‍රතිචාර දක්වමින් කවුරුත් උත්සාහ දරා තිබුණේ, එම අවිහිංසක බලාපොරොත්තුව යථාවත් කර දීමටය.

නමුදු හැබැහින් රූපය දැකගැනීම කෙසේ වුව, ඇගේ කටහඬක් පවා නොඅසාම ගයාන් මුණසිංහ මරුතුරුළට ගොස් තිබිණ.

එකම එක සෙනෙහෙබර ප්‍රාර්ථනයකින්, ජීවිත ගමන අවසන් කළ ඔබට, මතු සසරක හෝ ඇයව හමුවේවා යන්න කාගෙත් එකම ප්‍රාර්ථනය වනු ඇත.

සොයුර ඔබ පැතූ සුවය අත්වේවා !!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: