hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 7:22



ගුවන් සේවිකාවන් ලෙස තරුණියන් බඳවා ගන්නා බව කියමින් රූමත් ළාබාල තරුණියන් 20 දෙනෙකුගේ නිරුවත් පින්තූර වට්ස්ඇප් මාර්ගයෙන් ගෙන්වා ඔවුන් “බ්ලැක්මේල්” කළ ජල සම්පාදන මණ්ඩලයේ මනු කියවන්නෙකු මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරු වයස අවුරුදු 29ක හඟුරන්කෙත පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකාර මනු කියවන්නා මෙලෙස තරුණියන් බ්ලැක්මේල් කිරීම සඳහා ජංගම දුරකතන 4ක්, සිම්පත් 13ක් සහ නවීන පරිගණකයක් භාවිත කර ඇති අතර ඒ සියල්ල පරිගණක අපරාධ කොට්ඨාසය විසින් භාරයට ගනු ලැබ තිබේ.

එම කොට්ඨාසය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගුවන් සේවිකාවක් සඳහා ඉල්ලුම්පතක් යොමු කළ තරුණියකගේ නිරුවත් පින්තූර ලබාගෙන ඇය බ්ලැක්මේල් කළ බවට ඇය විසින් කොළඹ රහස් පොලිස් මූලස්ථානයේ පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව ය.

එම කොට්ඨාසය පවසන ආකාරයට ඇය සහ තවත් තරුණියන් 20 දෙනෙකු සැකකරුට රැවටී ඇත්තේ මෙලෙසිනි.

රුවැත්තියන්ගේ ගැටලු නමින් මුහුණු පොත ඔස්සේ සංසරණය වන ගිණුමකින් ගුවන් සේවිකාවන් බඳවා ගැනීම සඳහා අයැදුම්කරන ලෙසට දැන්වීමක් පළ කර තිබේ. මෙම රැකියාව සඳහා කැමැති ළාබාල තරුණියන්ට ගිණුම සමග සම්බන්ධ වීමට දුරකතන අංකයක් ද ලබා දී තිබූ අතර සියල ගනුදෙනු SMS හරහා සිදුකළ යුතුවේ.

ඒ අනුව, මෙම තරුණිය ද මුහුණුපොතේ සඳහන් දුරකතන අංකයට SMS පණිවුඩ යවමින් කාන්තාවක් සමග සම්බන්ධ වී තිබේ. පසුව එම කාන්තාව විසින් ගුවන් සේවිකා තනතුර සඳහා අවශ්‍ය අයැදුම්පත් සහ ඇගේ ඡායාරූප කිහිපයක් එවන ලෙස සඳහන් කරමින් ඊමේල් ලිපිනය ලබා දී තිබේ.

පසුව ඉල්ලුම් පත්‍රයක් සමග ඇය ඇගේ පින්තූර කිහිපයක් ද ඊමේල් ලිපිනයට යවා ඇති අතර එහිදී රුවැත්තියන්ගේ ගැටලු ගිණුම භාර කාන්තාව තරුණියට පවසා ඇත්තේ ඔබේ පින්තූර ගුවන් සේවිකා තනතුරට සුදුසු බවට තෝරාගෙන ඇති බව ත් මේ සම්බන්ධයෙන් ආයතනයේ හිමිකරු සමග කතාබස් කරගන්නා ලෙසත්ය. ඇය ආයතනයේ හිමිකරුගේ අංකය ද එම තරුණියට ලබා දී තිබේ.

කෙසේ වෙතත් SMS පණිවුඩ මාර්ගයෙන් ඉල්ලුම්කාරි තරුණිය ආයතනයේ හිමිකරු සමග සබඳතා පවත්වා ඇත. එහිදී හිමිකරු ඇයට පවසා ඇත්තේ ගුවන් සේවිකාවක් ලෙස බඳවා ගැනීමේදී සිරුරේ අඟපසඟ පරීක්‍ෂා කළ යුතු බැවින් අත්පාවල නියපොතුවල රූප ඔහු වෙත එවන ලෙස ය.

පසුව එම පින්තූර ද තරුණිය ආයතන හිමිකරුට යවා තිබේ. එහිදී ඔහු මෙම තරුණියට පවසා ඇත්තේ එම පින්තූරවලට අනුව ගුවන් සේවිකාවක් ලෙස ඇය තෝරාගෙන ඇති හෙයින් සිරුරේ නිරුවත් පින්තූර කිහිපයක් ඔහුගේ ගිණුමට යොදන ලෙස ය.

මෙහිදී අසරණතාවට පත් මෙම තරුණිය රුවැත්තියන්ගේ ගැටලු ගිණුම මෙහෙයවූ කාන්තාවට කතා කර ඒ සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදී ඇය ද මෙම තරුණියට මැසේජ් කර පවසා ඇත්තේ ගුවන් සේවිකාවක් ලෙස රැකියාව කිරීමට අඟපසඟ සුදුසු ලෙස තිබිය යුතු හෙයින් සිරුරේ නිරුවත් පින්තූර ආයතනයේ හිමිකරු වෙත යවන ලෙසත් එය රහසිගතව සිදුකරන ක්‍රියාවලියක් බවත් ය.

පසුව මෙම තරුණිය සිය සිරුරේ නිරුවත් පින්තූර රැසක් ආයතනයේ හිමිකරු වෙත යවා ඇති අතර ගුවන් සේවිකාවක් ලෙස රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් කාලය ගත කර තිබේ.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ආයතනයේ හිමිකරු ලෙස හැඳින්වූ පුද්ගලයා මෙම තරුණියට කෙටි පණිවුඩ යවමින් ඇගේ නිරුවත් පින්තූර තමා සතුව ඇති බැවින් ඔහු සමග ලිංගිකව හැසිරීමට එන ලෙසත් එසේ නැතහොත් එම නිරුවත් පින්තූර මුහුණුපොතට සහ සමාජ මාධ්‍යවලට යොමු කරන ලෙසත් පවසා තිබේ.

මින් බියට පත් තරුණිය වහා මේ බව සිය මවුපියන්ට දැන්වීමෙන් අනතුරුව සිදුවීම පරිගණක අපරාධ කොට්ඨාසය වෙත පැමිණිලි කර තිබේ.

එම කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් කරන ලද පරිගණක විමර්ශනයේදී හෙළිවී ඇත්තේ ආයතන හිමිකරු ලෙස පෙනී සිටින තැනැත්තා හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය.

පසුව මහනුවර පරිගණක කොට්ඨාස ඒකකයට මේ පිළිබඳ දැනුම්දීමෙන් පසු ආයතන හිමිකරු ලෙස පෙනී සිටි තැනැත්තා අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇති අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මොහු ජල සම්පාදන මණ්ඩලයේ මනු කියවන්නෙකු බව අනාවරණය කරගෙන ඇත.

වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ රුවැත්තියන්ගේ ගැටලු නමින් මුහුණුපොත හරහා ගිණුමක් පවත්වාගෙන යන්නේ මොහු බවත් එය මෙහෙයවන කාන්තාව ලෙසත් ආයතන හිමිකරු ලෙසත් ද්විත්ව රංගනයක යෙදී ඇත්තේ සැකකාර මනු කියවන්නා බව ත් ය.

පසුව ඔහු සතු ජංගම දුරකතන හතර පරීක්‍ෂා කිරීමේදී ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගන්නා බව කියමින් මොහු ළාබාල තරුණියන් 20 දෙනකුගේ නිරුවත් පින්තූර රැගෙන ඔවුන් සාපරාධී බියගැන්වීමකට ලක්කර (බ්ලැක්මේල්) ඇති බව ය. එම තරුණියන්ට මොහු සමග ලිංගිකව හැසිරීමට කතා කරමින් සැකකරු මෙම තරුණියන් බිය ගන්වා තිබේ.

මේ වනවිට සැකකරුට විරුද්ධව පැමිණිලි දෙකක් ලැබී ඇති අතර ඔහු සතු දුරකතන හතර සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා කැඳවා ඇති බවත් ඉන් මොහුට රැවටුණු තරුණියන් කවුදැයි හඳුනා ගැනීම සිදුකරන බව ත් පරිගණක අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. එමෙන් ම මොහුගේ ජංගම දුරකතනවල සටහන්ව ඇති නිරුවත් පින්තූර සහිත කාන්තාවන් 20 දෙනා කවුදැයි හඳුනා ගැනීම මෙම විමර්ශනයේ ඊළඟ පියවර බවත් හෙතෙම සඳහන් කළේ ය.

එමෙන් ම මෙලෙස මුහුණු පොත ඔස්සේ ගුවන් සේවිකා තනතුරු ලබා ගැනීමේ අරමුණෙන් සැකකරුට රැවටුණු තරුණියන් වෙතොත් වහා අපරාධ නිරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දන්වන ලෙස එම කොට්ඨාසය ඉල්ලා සිටී.

සැකකරු වැඩිදුර විමර්ශනයෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණියගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ මහනුවර උපඒකකයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්‍ෂකා චතුරි දිසානායක ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: