hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 05, පෙ.ව. 12:01



”ඔබත් වයස 18 සම්පූර්ණ කළ සුරූපී තරුණියක්ද? එහෙනම් මෙන්න අනගි අවස්ථාවක්. රජියේ අනුමැතිය ලත් අපගේ නවතම සම්බාහන මධ්‍යස්ථානයට තෙරපිවරියක් ලෙස එකතු වන්න. වැටුප තම හැකියාව මත මසකට රුපියල් ලක්ෂය ඉක්මවයි. පුහුණු නුපුහුණු දෙපාර්ශ්වයටම ආරාධනා. කෑම බීම සහ නවාතැන් පහසුකම් නොමිලේ. අදම අමතන්න 077 638….”

දැන්වීම එලෙස පළවීමත් සමගම එම අංකයට සතර දෙසින් දුරකථන ඇමතුම් ලැබුණි. ඒ ජීවිතයේ විවිධ හැලහැප්පීම් මත ජීවිතය ගොඩනඟා ගැනීමට වෙර දරන තරුණියන් ගෙන්ය.

පළමුව තෝරා ගත් තරුණියන් පස් දෙනෙකුට මීගමුව සම්බාහන මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස අතුල ඇතුළු පිරිස පැවසූහ. ඒ අනුව අනුරාධපුරය, කුරුණෑගල, දඹුල්ල සහ කතරගම ප‍්‍රදේශයේ පදිංචි තරුණියන් පස්දෙනෙකු මීගමුව නගරයේ පිහිටීම පිහිටි එම ස්ථානයට පැමිණියහ. එලෙස පැමිණි තරුණියන් තිදෙනකු මීට පෙරත් සම්බාහන මධ්‍යස්ථානයක වැඩ කළ අය වූහ.

එලෙස පැමිණි තරුණියන්ට අතුල හා පිරිස ”මේක අපි අලූතෙන්ම පටන් ගත්ත සම්බාහන මධ්‍යස්ථානයක්. එක නිසා ඔයගොල්ලෝ කැමති විදිහකට වැඩ කරන්න. මෙතන මීට කලින් වැඩ කරපු තුන්දෙනෙකුත් ඉන්නවා නේ. බැරි දෙන්නා ඒගොල්ලන්ගෙ විස්තර අහගන්න.”

”තව එකක් පොලිසිය ගැන බයවෙන්න එපා. ඒව සේරම අපි බලාගන්නම්… උඹලට තියෙන්නෙ කස්ටමර්ට ඕන දේ දෙන්න විතරයි. සමහරු ඇඟ පොඩි කරගන්න විතරක් නොවෙයි. තේරෙනවනෙ මම කියන දේ. ඒක නිසා ඒවත් දෙන්න බලන්න. එතකොට අපි දෙගොල්ලන්ටම හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්.”

”කෑම බීම ඕනම දෙයක් අපි දෙන්නම්. ළඟ තව ගෙයක් අරන් තියෙන්නෙ ඕෆ් වුණාම එහේ නිදා ගන්න පුළුවන්. මෙතන බොන අය ඉන්නව නම් බොන්න කිසිම ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩ කරන්න පුළුවන් ගාණට.”

තරුණියන් පැමිණ දින දෙකකට පසු සම්බාහන මධ්‍යස්ථාන විවෘත විය. ඒ නීතිවිරෝධී අයුරින්ය. අතුල නලීන් සහ අමල් මාරුවෙන් මාරුවට එම ස්ථානයේ කළමනාකරුවන් වශයෙන් රැඳී සිටියහ.

සතියක් පමණ ගත විය. ඔහු සිතූ තරම් මුදලක් නොලැබුණහ. එහිදී ඇතුල ”මෙහෙම කරලා හරියන්නේ නෑ. මේ කෙල්ලො ටික ඞීල් යවන්න ඕනා. එතකොට තමයි හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්” යැයි පැවසුවේය.

එතැන් පටන් අන්තර්ජාලය හරහා එම තරුණියන් මුදලට විකිණීමේ ජාවාරමක් ඔවුහු පටන් ගත්හ. එයට අමතරව තමන් දන්නා හිතමිතුරන්ට ද ඒ බව පැවසූහ. ඒ මාර්ගය හරහා ද ගැනුම්කරුවන් සොයා ගැනීමට ඔවුනට හැකි විය.

එලෙස පැමිණි තරුණියන් තිදෙනකු මුදලට විකිණීමට අකමැති විය. එම තිදෙනා අතුල ඇතුළු පිරිසට මෙලෙස පැවසුහ. ”අපි ආවේ සල්ලිවලට ඞීල් යන්න නොවෙයි. තෙරපිවරියක් වශයෙන් කටයුතු කරන්න. ඒක නිසා අපිට බෑ මෙහෙම ඞීල් යන්න.”

එම කතාව අහපු අතුල ඇතුළු පිරිස එම තරුණියන්ට බැණ වැදුණේ මෙලෙසින්ය.

”උඹලට අපි කියන විදිහට වැඩ කරන්න බැරි නම් මෙතනින් පලයන්. තව රටේ ඉන්නවා ඕන තරම් කෙල්ලෝ. මේකෙන් අපි තනියෙන් කන්නේ නැහැ උඹලටත් වාසියක් තියෙන නිසා කියන්නේ. හෙටම තීරණයක් ගන්න. අකමැති අය ගෙදර යන්න බලාගෙන ඉන්න.”

එම තරුණියන් මෙවැනි තැනක සේවය කරන්න පැමිණියේ අන්ත අසරණ තත්ත්වයට පත්වූ නිසාය. අතුල ඇතුළු පිරිස පැවසූ දෙයින් එම තරුණියන් තවත් අන්ත අසරණ වූවාය.

”ගෙදර ගියොත් බෙල්ලෙ වැල දාගන්න තමයි වෙන්නේ තියෙන ආර්ථික ප‍්‍රශ්නවලට. ඒක නිසා අකමැත්තෙන් හරි ඒ දේට කැමති වෙනවා. නැත්නං අපිට මෙතන ඉන්නත් බැරි වෙයි.” එලෙස සිතා එම තරුණියන් අතුල ඇතුළු පිරිස කියූ යෝජිනාවට අකැමැත්තෙන් වුවද කැමැති විය.

එතැන් පටන් එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කළ තරුණියන් තිදෙනාම මුදල් මත ගණිකා සේවයේ යෙදවීමට අතුල ඇතුළු පිරිස කටයුතු කළහ. එලෙස ටික දිනක් ගතවෙද්දී ඔවුනට එම ඉල්ලූම වැඩි විය. එම නිසා නැවත දැන්වීම් දමා තව තවත් තරුණියන් ගෙන්වා ගත්තේය.

එම දැන්වීමට රැවටී පැමිණි තරුණියන්ට අවසානයේ සිදු වූයේ අතුල ඇතුළු පිරිසගේ බලකිරීම මත අකමැත්තෙන් වුවද මුදලට ඇඟ විකිණීමටයි. ඒ අතර අතුල ඇතුළු පිරිසට මෙම නීති විරෝධී ගණිකා ව්‍යාපාරය කරගෙන යෑමට තවත් කීප දෙනෙකු සම්බන්ධ විය.

කාන්තාවන් මුදලට විකිණීමෙන් ඔවුන් දිනපතා විශාල ආදායමක් ලැබුවේය. කාලය එලෙස ගත විය. මීගමුව පමණක් නොව එම නගරය අවට ප‍්‍රදේශවල අයද මෙම ගණිකා ව්‍යාපාරය ගැන දැනගෙන සිටියහ. එම නිසා දිනපතා ඔවුනට විශාල ගනුදෙනුකරුවන් පිරිසක් පැමිණියහ.

මෙරට විවිධ ප‍්‍රදේශවලින් පැමිණි තරුණියන් 25ක් පමණ එහි සේවය කළහ. එම සියලූම තරුණියන් වයස අවුරුදු 28ට අඩු අයයි. එම තරුණියන් සියලූ දෙනාම පාහේ පැමිණ සිටියේ දැන්වීමේ ඇති ආකර්ෂණීය බවට රැවටෙමින් ය. එලෙස පැමිණි තරුණියන් බලහත්කාරයෙන් රඳවාගෙන ගණිකා සේවයේ යෙදවීමට එම පිරිස කටයුතු කළහ.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාට ද මේ පිළිබඳ කන වැටුණි. ඒ අනුව ඔහු මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයාව මේ සම්බන්ධයෙන් දැනුවත් කළේය.

මීගමු පොලිස් ස්ථානාධිපතිවරයා තම නිලධාරීන් කිහිපදෙනෙකු කැඳවා මේ ගැන වහාම සොයා බලන ලෙස උපදෙස් දුන්නේය. එම උපදෙස් අනුව ක‍්‍රියාත්මක වූ එම නිලධාරීහු මීගමු නගරයේ සිදු කරගෙන යන මෙම නීති විරෝධී ගණිකා ව්‍යාපාරය පිළිබඳ සියලූ තොරතුරු සොයා ගත්හ.

සොයාගත් එම තොරතුරුවලට අනුව මීගමු නගරයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දහයක් වැටලීමට එම නිලධාරීන්ට හැකි විය. එහිදී ලාබාල තරුණියන් 24 දෙනෙකු ද අත්අඩංගුවට ගත්හ.

එලෙස අත්අඩංගුවට ගත් තරුණියන් බොහෝ දෙනෙකු පැවසුවේ ”පළවූ දැන්වීම් දැක එහි තිබූ ආකර්ෂණීයභාවය නිසා මෙලෙස පැමිණි බවත් එලෙස පැමිණි පසු එහි අයිතිකරුවන්ගේ දැඩි බලපෑම මත මෙලෙස මුදලට විකිණීමට සිදු වූ බවත්ය.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: