hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 12, පෙ.ව. 12:01



ජංගම දුරකථනය මාර්ගයෙන් මිනිසුන් බිය වද්දා හෝ තර්ජනය කර මුදල් ගැරූ කතා අපි ඕනි තරම් අහලා තියෙනවා

මේ කියන්න යන කතාවත් ඒ වගේ.හැබැයි මේ වැඩේ කරලා තියෙන්නේ පාසල් ශිෂ්‍යයෙක්.

ඇය කොළඹට කිට්ටු පාතක පිහිටි පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන්නියකි.

අපි ඇයට නදීශානි යැයි කියමු.

නදීශානි බටහිර පන්නයට හැඩගැසුණු ජීවිතයක් ගත කරන්නියකි.

ඇය තවමත් අවිවහාකය.

නදීශානිට මුහුණු පොතේ මිතුරන් රාශ්‍රියකි.

ඒ එක් මිතුරෙක් සමඟ ඇය ඉතා කිට්ටුවෙන් ඇසුරු කළාය.

වෛද්‍යවරයෙක් වූ ඔහු විවහාකයෙකි.

හැබැයි මේ දෙදෙනාගේ ඒ සමීප ඇසුරට විවාහය කිසිවි‍ටෙකත් බාධාවක් කර නොගත්තාය.

මුහුණු පොතින් දෙදෙනා අතර හුවමාරු වන අදහස් විවිධාකාරය.

ඒ අතර ඔවුහු සිය නිරුවත පවා ප්‍රදර්ශනයකර ගත්හ.

ඒවා ඇය සිය මුහුණු පොතේ වෙන කිසිවකුටත් හසු නොවන්නට ගබඩා කර තබා ගත්තේ මතක සටහන් ලෙසිණි.

මුහුණු පොතේ වැඩි හරියක් කාලය මිඩංගු කිරීමට පෙලඹී සිටි නදීශානිගේ අවධානයට දිනක් යොමුවන්නේ “ලස්සන ගවුම්“ යන නමින් වූ ගිණුමක් වෙතය.

කාන්තාවන්ගේ සිත් ඇදී යන විවිධ වර්ගයේ ඇඳුම් විලාසිතා ගොන්නක එකතුවකින් සමන්විත එම ගිණුමට පිවිසි ඇයගේ සිත ඇදී යන්නේ එහි උප ගිණුමක් වූ “ලස්සන ගවුම් ඩිසයින්“ වෙතය.

ලොව ප්‍රසිද්ධ සන්නාම සහිත කාන්තා යට ඇඳුම් රාශියක් එම ගිණුමෙන් ප්‍රදර්ශනය කරමින් තිබුණේ ඒවා “මාර්ගගත ක්‍රමයට “ අලෙවියට තබාය.

ඇතැම් ඇඳුම් එහි මිල නියම කර තිබුණේ හිතා ගන්නටත් බැරි තරමේ අඩු ගණන්වලිනි.

ඒ අතර තිබුණු කාන්තාවන් අතර වඩාත් ජනප්‍රිය යට ඇඳුම් කිහිපයක් කෙරෙහි සිය අවධානය යොමු කළ නදීශානි එම යට ඇඳුම් 10ක් මිලදී ගැනීමට ඇණවුම් කරන්නේ වෙළෙපොළේ රුපියල් 600ක් වූ එම යට ඇඳුම් එහි මිල කර තිබු‍ණේ රුපියල් 100ක් තරම් වූ සුළු මුදලකට වූ නිසාය.

එම ඇණවුමට ප්‍රතිචාර ඇයට ලැබෙන්නේ හැරෙන තැපෑලෙන්මය. ඒ එම ඇණවුම ලැබුණු බව සඳහන් කරමිනි.

“ඔබේ ඇණවුම තහවුරු කරන්න ඕනේ.“ ඒත් එක්කම ඇගේ මුහුණු පොතේ තවත් පණිවුඩයක් දිස්වන්නට විය.

ඇයට ඒ කිසිදෙයක් පිළිබඳ එතරම් අවබෝධයක් නොවීය. ඇණවුම තහවුරු කිරීමට කළ යුත්තේ කුමක්දැයි විමසමින් ඇය පණිවුඩයක් නැවත යොමු කරනුයේ එබැවිනි.

එහිදී ඊට ලැබෙන පිළිතුර වන්නේ ජංගම දුරකතනයට ලැබෙන “තහවුරු කිරීමේ කේතය“ (OTP) ලැබුණු පසු නැවත එය යොමු කරමින් ඇණවුම තහවුරු කරන ලෙසය.

ඊට සුළු මොහොතකට පසු ඇගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලෙස යොමු වන්නේ “තහවුරු කිරීමේ කේතයකි.

“නදීශානි සිතන්නේ එය යට ඇඳුම් ඇණවුම තහවුරු කිරීමට තමාට ලද “තහවුරු කිරීමේ කේතය“ විය හැකි බවය.

ඒ අනුව ඇය එම කේතය කෙටි පණිවුඩයක් ඔස්සේ යොමු කරනුයේ එම ඇණවුම තහවුරු කරමිනි.

ඒ එම කේතය සමඟ ඇයට ලද තොරතුරු කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරමිනි.

යට ඇඳුම් මිලදී ගැනීමේ ඇණවුම එසේ තහවුරුකර දින සති ගානක් ගෙවී ගියත් නදීශානිට ඇණවුම් කළ යට ඇඳුම් නම් ලැබුණේ නැත.

ඇයට ඒ ගැන එතරම් ගානක්ද නොවූවාය. ඒ ඇය එම ඇණවුම කිරීමේදී කිසිදු ගෙවීමක් කර නොතිබුණු බැවිනි.

“උමේෂා ඩී. ජයරත්න“ නම් වූ ආගන්තුක ගිණුමකින් නදීශානිට පණිවුඩයක් ලැබෙන්නේ ඔය අතරතුරදීය.

එහි දිස්වූයේ ඇගේ අඩ නිරුවත් ඡායාරූපයකි.

එම ඡායාරූපය ඇය විසින් සිය සමීපතයා වූ වෛද්‍යවරයාට මුහුණු පොත හරහා යොමු කර තිබූවකි.

“ඔයා කවුද? ඔයාට මොනවද වෙන්න ඕනේ“ එම ඡායාරූපය දුටු සැණින් කලබල වූ ඇය එම ආගන්තුක තැනැත්තියට පණිවුඩයක් තැබුවාය.

“ඔයාගේ හොඳ හොඳ ෆොටෝ මා ගාව තියෙනවා.

ඔය එකක් විතරයි එළියට දැම්මේ.

මම කියන විදිහට වැඩ කළේ නැත්තම් හැමෝටම පේන්න හැම ෆොටෝ එකක්ම එළියට දානවා“ එම ආගන්තුක තැනැත්තිය නදීශානිට ප්‍රතිචාර දක්වන්නට වූයේ එසේය.

තමාට මේ සිදුවී ඇත්තේ කුමක්දැයි ඇයට හිතා ගන්නටවත් බැරි වූවාය.

මෙම ඡායාරූප ප්‍රසිද්ධ වුවහොත් තමාට සිදුවන්නේ සමාජයට මුහුණ දීමට නොහැකිව සිය දිවි හානිකර ගන්නට බව ඇය දැන සිටියාය.

“ හරි ඔයාට මගෙන් මොනවද කෙරෙන්න ඕනේ“ ඇය ආගන්තුක තැනැත්තියට පණිවුඩයක් තැබුවාය. ඒ වෙන කරන්නට දෙයක් ඇයට ඉතිරිව නොතිබුණු බැවිනි.

ඊට ප්‍රතිචාර ලැබෙන්නට වූයේ ඇගේ අලුත ගත් නිරුවත් ඡායාරූප කිහිපයක් එම ගිණුම ඔස්සේ එවන ලෙසට කෙරෙන දැනුම්දීමකි.

එම ඉල්ලීම ඉටුකිරීමට තරම් ශක්තියක් ඇයට නොවූවාය.

ඒ නිසාම ඇය එය ප්‍රතික්ෂේප කරන්නට වූයේ අවශ්‍ය නම් ඒ සඳහා මුදල් ඇති තරම් දෙන්නම් යැයි කියාය.

“මට සල්ලිි ඕනේ නැහැ. ඔයා ෆොටෝ එව්වොත් මම මේවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ.

එහෙම නැති වුණොත් ඔයාගේ පෙම්වතාගේ ගෙදරට දෙන්න එක්ක කරපු චැට් ටිකත් යවන්නම්“ එහිදී ඇයට එල්ල වන්නේ තර්ජනයකි.

සිය සමීපතයා වූ වෛද්‍යවරයා සමඟ මුහුණු පොත හරහා තමා හුවමාරු කරගත් පණිවුඩ මොනවාදැයි ඇයට හොඳ වැටහීමක් තිබුණාය.

එහි වූයේ දෙදෙනා අතර වූ අතිශයම පුද්ගලික කාරණා ගැනය.

මේවා එළියට ගියහොත් වෛද්‍යවරයාට ද සිදුවන්නේ වහ කෑමට බව ඇයට දැනුණාය.

“හරි මම ඔයා කියන දේට කැමතියි.“ යැයි පණිවුඩයක් තබමින් ඇය සිය නිරුවත් ඡායාරූප කිහිපයක් ජංගම දුරකතනයෙන් ගෙන එම ගිණුමට යොමු කළාය.

ඒ ඇයට ගැලවිල්ලට වෙන කරන්නට දෙයක් ඔළුවට ආවේම නැති කොටය.

ඇය සිතන්නේ එතැනින් සියල්ල හමාර වනු ඇතැයි කියාය.

එහෙත් එය එසේ නොවීය.

දිගින් දිගටම එම ගිණුමෙන් ඇයගෙන් නිරුවත් ඡායාරූප ඉල්ලා තර්ජන ගලා එන්නට ගත්තේය.

බැරිම තැන ඇය මේ ගැන කියන්නට එන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය.

ඒ සිය මිතුරියකගේ මඟ පෙන්වීමකට අනුවය.

මේ අතර මුහුණු පොතේම ගීලී සිටින ඉංජිනේරුවරයකුගේ තරුණ බිරියකගේ විශේෂ අවධානයකට යොමු වන්නේ මාර්ගගත ක්‍රමයට නිවසේ සිට මුදල් උපයන්න හැකියාවක් ඇති රැකියාවක් සම්බන්ධයෙන් මුහුණු පොතේ පළවූ දැන්වීමක් කෙරෙහිය.

එම දැන්වීම පළකර තිබුණේ “උමේෂා ඩී. ජයරත්න“නැමැති අයකුගේ නමින් වූ ගිණුමකය.

එය ආකර්ෂණීය දැන්වීමකි.

මාසකට ලක්ෂයකට වැඩි ආදායමක් නිවසේ සිට උපයන්නට හැකි බව එහි සඳහන්ය.

ඒ නිසාම තරුණ ඉංජිනේරු බිරිය එම මුහුණු පොතේ සඳහන් රැකියාව අපේක්ෂාවෙන් එහි පණිවුඩයක් තැබුවාය.

මුහුණු පොත හරහා කෙරුණු එම ඉල්ලීමට ඇයට ප්‍රතිචාර ලැබෙන්නේ මුලින්ම සියලුම ජීවදත්ත ඇතුළත් අයදුම්පතක් යොමු කරන ලෙසය.

ඒ අනුව ඇය සිය සැමියාගේ නම ගම මෙන්ම රැකියාවද සඳහන් කරමින් ඒ වෙත අයදුම්පතක් යොමු කරනුයේ මාසයකට ලක්ෂයක් අතට ලැබෙන මේ රැකියාව කෙසේ හෝ උරුමකර ගන්නට සිතාගෙනය.

අයදුම්පත යොමු කිරීමෙන් පසු ඊට ප්‍රතිචාර ලැබෙන්නේ දින කිහිපයකට පසුවය. “අපිට දැනට තියෙන්නේ මොඩ්ලින් සම්බන්ධ රැකියා කිහිපයක් විතරයි. ඔයා කැමති නම් අපිට ඔයාගේ සම්පූර්ණ ෆොටෝ එකක් එවන්න.

ඔයාව තේරුණොත් අපි ඇග්‍රිමන්ට් එකක් සයින් කරනවා. ලක්ෂ 14ක.“ එහි සඳහන් විය.

මාසෙකට ලක්ෂයක් උපයන්න සිතූ ඇයට ලක්ෂ 14ක් යනු සිහිනයක් වූවාය.

“අපිට ඔයාගේ ඔය ෆෝටෝ එක බලල සිලෙක්ට් කර ගන්න බැහැ.“ යැයි පණිවුඩයක් ඇයට යොමුවන්නේ පළමු ඉල්ලීමට අනුව ඡායාරූපයක් යොමු කිරීමෙන් අනතුරුවය.

“ කොහොම එකක්ද එහෙම නම් ඉල්ලන්නේ“ ඇය නැවතත් පණිවුඩයක් තැබුවාය.

ඊට ලැබෙන ප්‍රතිචාරය වූයේ ඇය යට ඇඳුමින් සැරසී සිටින ඡායාරූපයක් ඉල්ලා සිටීමකි.

ඒ වන විටත් සිහින ලෝකයක තනිවී සිටි ඇය දෙවරක් ඒ ගැන සිතුවේ නැත. ඒ විදිහටත් ඡායාරූප දෙක තුනක් ගෙන මුහුණු පොත හරහා යොමු කළාය.

මෙහි ඊළඟ පියවර තැබෙන්නේ ඇගේ උඩුකය නිරුවත් ඡායාරූපයක් ඉල්ලමිනි.

ඇය ඊට එතරම් කැමැත්තක් නොදැක්වූවත් අවසානයේදී ඇය සිය මුහුණ නොපෙනෙන ආකාරයට ඡායාරූපයක් ගෙන යොමු කරන්නේ ලක්ෂ 14 ට වහ වැටීය.

“හරි යන්නේ නැහැ. ඔයාගේ මුහුණත් එක්ක ෆෝටෝ එකක් එවන්න.

එහෙම නැති වුණොත් ඇග්‍රිමන්ට් එක සයින් කරන්න බැරිවෙනවා.

අපරාදේ ඔයා මෙච්චර දුරක් ඇවිල්ල මේක අතෑරියොත්“ මෙවන් පණිවුඩ රාශියක් යොමු කරමින් ඇයව උනන්දු කරවන පණිවුඩ රැසක්ම ඒත් එක්කම ගලා එන්නට ගත්තේය.

“ඔයාව සිලෙක්ට් කරගන්නේ ෆොරිනර් කෙනෙක්.

එයාට මම ෆෝටෝ එක පෙන්නල ඩිලීට් කරනවා.

ඔයා බයවෙන්න එපා. මමත් ගෑනියෙක්නේ. අපරාදෙ මේ ලැබිල තියෙන චාන්ස් එක අතහරින්න එපා “ඒ අතර මෙවන් පණිවුඩ රාශියක්ද වූවාය.

ඇය ඊට ද සිය අකමැත්ත පළ කරනුයේ කැමරාවක් ඉදිරියේ නිරුවත් වී මුදල් සොයා ගැනීමට තරම් අහේනියක් නොවූ තැනැත්තියක් වූ බැවිනි.

“ අපි ඉල්ලපු විදිහේ ෆොටෝ එකක් එව්වේ නැත්තම් ඔයා අපිට එවල තියෙන අනිත් ෆොටෝ ලීක් කරනවා. ඔයාගේ මහත්තයටත් එවනවා.

එයාගේ යාළුවන්ටත් යවනවා. ඔයාගේ මහ ලොකු ඉංජිනේරු මහත්තයට වෙන දේ එතකොට බලාගන්න පුළුවන් වේවි“ අනතුරුව එක දිගටම තර්ජන ගොන්නක්ම ඇයට එල්ල වන්නේ කිසිවක් හිතා ගන්නවත් බැරිවන ආකාරය.

ඒ වන විටත් ඇය නොදැනුවත්කමින් ඇගේ අඩනිරුවත් ඡායාරූප මෙන්ම සියලු පුද්ගලික තොරතුරු මුහුණු පොත හරහා මේ ඡායාරූප ඉල්ලා කරදර කරන ගිණුමට යොමුකර තිබුණාය.

ඇයට ඒ නිසාම එයින් ගැලවිල්ලක් නොවීය.

සිය අඩනිරුවත් ඡායාරූපයක් සිය සැමියාගේ මිතුරන් අතර හුවමාරු වුවහොත් සිදුවන්නේ ලොකු විනාශයක් බව ඇයට දැනෙන්නට ගත්තාය.

ඇය නැවතත් දුරදිග නොබලා සිය උඩුකය නිරුවත් ඡායාරූපයක් ගෙන එයද මුහුණු පොත හරහා යොමු කළාය.

ඒ එතැනින් සියල්ල හමාර වෙයි යැයි සිතාගෙනය.

ඇයට වැඩ වරදින්නේ ඒ මොහොතේ සිටය.

එම උඩුකය නිරුවත් ඡායාරූපය ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් ඇගෙන් තව තවත් ඡායාරූප ගෙන්වා ගත්තේය.

තමාව උගුලකට හසුවී ඇතැයි ඇයට පසක් වන්නේ එහිදීය.

ඇයට සිදුවන්නේ විවිධ ඉරියව්වලින් නිරුවත් ඡායාරූප ගෙන එම ගිණුම හරහා යවන්නටය.

දිගින් දිගටම තර්ජනය කරමින් නිරුවත් ඡායාරූප ඉල්ලා සිටින්නට වූ බැවින් ඇයටද සිය ජීවිතය එපා වූ වාර ගණන බොහෝය.

අවසානයේදී ඇයද පිහිටක් පතා එන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ විශේෂ අවධානයකට මේ පැමිණිලි දෙකම යොමුවී තිබුණේය.

මේ ගැන පුළුල් විමර්ශනයක් පැවැත්වීමේ වගකීම ඔහු පවරන්නේ පොලිස් අධිකාරී බුද්ධික ජයසුන්දරගේ අධික්ෂණය යටතේ පැවති ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.සේනාරත්නටය.

පරිගණක අපරාධ සම්බන්ධයෙන් දක්ෂ විමර්ශකයෙක් වූ සේනාරත්න සිය කණ්ඩායම සමඟ කළ මූලික වෝහාරික විමර්ශනයේදී පෙනී යන්නේ මෙම අපරාධ දෙක, දෙකක් නොව එකක් බවකි.

ඒ මෙම අපරාධ දෙකම මෙහෙයවන්නේ එකම තැනැත්තෙක් බවය.

තාක්ෂණයත් සමඟ කළ අපූරු විමර්ශනයකින් පසු සේනාරත්න ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මුහුණු පොතින් කරන මේ සෙල්ලම හඳුනා ගැනීමට එතරම් අපහසු කාර්යයක් නොවීය.

අනතුරුව මුහණු පොතෙන් කාන්තාවන් නිරුවත් කළ “උමේෂා ඩී. ජයරත්න“ ලෙස මුහුණු පොතේ පෙනී සිටි ගිණුම් හිමියාව කොටුකර ගන්නේ රඹුක්කන පින්නවලදීය.

බැලින්නම් ඔහු පාසල් සිසුවෙකි.

පින්නවල පැත්තේ පාසලක අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගයට ඒ වන විටත ඔහු මුහුණ දී සිටියේය.

හැබැයි විභාග ප්‍රතිඵල එන විට ඔහු සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගේ භාරයේය.

ඒ අත්අඩංගුවට පත්වය.

තාක්ෂණයත් සමඟ ඔහු කොතරම් සෙල්ලම් පෑවත් උසස් පෙළට ඔහු මුහුණ දී තිබුණේ කලා විෂයන්වලිනි.

ප්‍රතිඵල ලේඛනයට අනුව සියලුම විෂයන්වලින් ඔහු සිටියේ අසමත්වය.

මෙම සිසුවාගේ පියා පෙදරේරුවෙකි. මව ගේදොර වැඩක් බලා කියාගෙන සිටි‍ තැනැත්තියක් වූවාය.

මොහුට වැඩිමහල් සහෝදරියක් සිටින්නේය.

ඇය විවාහකය.

මෙම සිසුවා වැරදි මඟ යන්නට ඔහුට අඩිතාලම වැටෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ප්‍රතිඵල ලැබෙන තුරු පාසල් නොගොස් සිටි කාල සීමාව තුළය.

විභාග ප්‍රතිඵල නිකුත්වන තුරු පාසලේ ගේට්ටු වැසී තිබීම නිසා මේ සිසුවා කරන්නේ රඹුක්කන පැත්තේ හෝටලයක කොත්තු ගැසීමට යාමය.

හොඳ අත්ගුණයක් තිබුණු මෙම සිසුවා එම හෝටලයේ කොත්තු ගසා උපයා ගන්නේ ඇපල් වර්ගයේ ජංගම දුරකතනයකි.

ඔහු වැරදි මඟට යොමුවන්නේ එම ජංගම දුරකතනය අතට පත් වූ මොහොතේ සිටය.

මුහුණු පොත ගැන තබා ස්මාට් ජංගම දුරකතනයක් හැසිරවීම ගැනවත් එතරම් දැනීමක් නොමැතිව සිටි මෙම සිසුවා ඉතා කෙටි කලක් තුළ ජංගම දුරකතනයෙන් හොඳටෝම වැඩ ගන්නා හැටි ස්වයංවම උගත්තේය. “ලස්සන ගවුම් ඩිසයින්“මුහුණු පොතේ ගිණුම ඔහු විවෘත කරනුයේ සිතට ආ අදහසක් ක්‍රියාත්මක කරමිනි.

මුහුණු පොතේ එම ගිණුම ඔහු යොදා ගත්තේ කාන්තාවන් රැවටීමටය.

වෙළඳපොලේ ලොකු ගානකට ඇති භාණ්ඩයක් අඩු ගානකට දෙනවා යැයි කී විට කාන්තාවන් හොඳට රැවටෙන බව මේ සිසුවා හොඳින්ම අවබෝධ කරගෙන සිටියේය.

කාන්තාවන් වඩාත් ප්‍රියකරන ප්‍රසිද්ධ සන්නාම සහිත කාන්තා යට ඇඳුම් එම ව්‍යාජ ගිණුම ඔස්සේ මාර්ග ගත ක්‍රමයට අඩු මිලට අලෙවියට දමන්නේ එබැවිනි.

ඊට වහ වැටුණු බොහෝ කාන්තාවෝ එම ගිණුම ඔස්සේ අඩු ගානකට ඉස්තරම් යට ඇඳුම් ගන්නට ඇණවුම් කර තිබුණහ.

නදීශානිද ඒ අතර සිටි එක් කාන්තාවක් පමණි.

ඇගේ මුහුණු පොතේ ගබඩා කර තිබුණු අතිශය රහස් ඡායාරූප සඳහා පණිවුඩ තුන්වැන්නෙක් අතට පත්වන්නේ මාර්ගගත ක්‍රමයට ඉස්තරම් යට ඇඳුම් අඩු මිලට ගන්නට ගොසින් බව ඒ වන විටත් ඇය දැන නොසිටියාය.

ඒ වන විටත් සිසුවා ගසා තිබුණේ හිතා ගන්නටවත් බැරි වන විදිහේ ගේමකි.

“ලස්සන ගවුම් ඩිසයින්“ ගිණුමේ ප්‍රසිද්ධ කර තිබුණු යට ඇඳුම් මිල ගණන් වලට රැවටී කාන්තාවන් ඇණවුම් ඉදිරිපත් කරන විට ඔහු කර තිබුණේ “තහවුරු කිරීමේ කේතය“ (OTP) හරහා කාන්තාවන්ගේ මුහුණු පොතට ඇතුළුවීමට ඇති මුරපදය සොරා ගැනීමකි.

ඒ සඳහා ඔහු භාවිත කර තිබුණේ අපූරු තාක්ෂික උප්පරවැට්ටියකි.

යට ඇඳුම් ඇණවුම “ තහවුරු කිරීමේ කේතය“ (OTP) ඔහු ඉල්ලා සිටීමට පෙර කරනුයේ එම ඇණවුම කළ කාන්තාවගේ මුහුණු පොතට රිංගා මුර පදය අමතක වී ඇති බවට සටහනක් තබා එම සටහන මුහුණු පොත පවත්වා ගෙන යන සමාගමට යොමුකර මුර පදය ඉල්ලා සිටීමය.

ඊට සමාගමෙන් ස්වයංක්‍රීය ප්‍රතිචාර ලැබෙන්නේ එම මුහුණු පොතේ හිමිකරුගේ ජංගම දුරකතනයටය.

ඒ එම ඉල්ලීම තහවුරු කරන ලෙසට වූ “තහවුරු කිරීමේ කේතයක්“ (OTP) යොමු කරමිනි.

සිසුවා කරන මේ සෙල්ලම ගැන නොදත් කාන්තාවන් කර ඇත්තේ සිය ජංගම දුරකතනයට එන එම කේතය ඇණවුම තහවුරු කිරීමේ කේතය යැයි සිතා මෙම සිසුවාට යොමු කිරීමය.

එම කේතය අතට ගත් සැණින් ඔහු කරනුයේ එම කාන්තාවන්ගේ මුහුණු පොතට රිංගා එහි ඇති සියලු දත්තයන් බාගත කිරීමය.

මේ ආකාරයට සිය දහස් ගානක් කාන්තාවෝ මොහුගේ මේ උගුලට හසුවී තිබුණහ.

ඒ අතර වැඩි දෙනෙක් යොවුන් වියේ තරුණියන්ය.

පාසල් සිසුවියන්ද ඒ අතර බොහෝය.

තරුණියක් ලෙස මෙහි පෙනී සිටි බදුල්ලේ තරුණයෙක්ද මේ අතර සිටියේය.

බැලින්නම් දෙන්නට දෙන්නා කර තිබුණේ රවටා ගැනීමකි.

ඒ හැරුණු කොට “ උමේෂා ඩී. ජයරත්න“ නමින් වූ මුහුණු පොතේ ගිණුමෙන්ද තරුණ කාන්තාවන් සිය ගානක් ඔහු කොටු කරගෙන සිටියේය.

ඒ අතර මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහළින්ම සමත්ව වෛද්‍ය පිඨයට තේරී පත්ව සිටි දැරිවියක්ද වූවාය.

ඇය මෙම උගුලට හසුවන්නේ දෙමාපියන්ට බරක් නොවී ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට සිතාගෙන මාර්ගගත රැකියාවක් සොයා ගොසිනි.

මෙසේ මෙම සිසුවාට රැවටී නිරුවත් වූ කාන්තාවන්, තරුණියන් සහ සිසුවියන් ගණන 300කට වැඩිය.

ඒ බව අනාවරණය වන්නේ තරුණයා මේ වැඩේට යොදාගත් ජංගම දුරකතනය ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයට යොමු කර කළ පරීක්ෂා කිරීමේදීය.

විවිධ ඉරියව්වලින් සිටින මේ එක් අයකුගේ ඡායාරූප දෙක තුනක්ම ඇති බැවින් එම ජංගම දුරකතනයෙන් මතුකරගත් එම කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ප්‍රමාණය ද 1000ට වැඩි මිස අඩුවක් නම් නැත.

ඒ අතර පාසල් නිල ඇඳුමෙන් සිටින සිසුවියන්ද රැසකි.

ඒ අයව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හඳුනා ගනිමින් සිටින්නේ මෙම සිසුවාට එරෙහිව ප්‍රබල සාක්ෂි රැස්කිරීම සඳහාය.

දැනටමත් මෙම සිසුවාට රැවටී නිරුවත එළියට දැමූ කාන්තාවන්, සිසුවියන් සහ තරුණියන් 30 දෙනෙකු හඳුනා ගෙන ඇති විමර්ශකයෝ ඒ අයගෙන් ප්‍රකාශයන්ද ලබාගෙන හමාරය.

සිසුවාගේ උගුලට හසුවී නිරුවත් වූ කාන්තාවන් වැඩි දෙනෙක් අමාරුවේ වැටී තිබුණේ විවිධ මුල්කරගෙන මුදල් සොයන්නට ගොසිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: