hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:02



අලුතින් මුහුණු පොතට එක් කල අමන්දාගේ ඡායාරූපයට “ලයික්” සිය ගණනක් හා “කොමෙන්ටු” සිය ගණනක් ලැබුණා. ඒ වන විටත් ලාබාල යුවතියක වූ අමන්දාගේ සිත ඒවායින් අමන්දානන්දයට පත්ව තිබුණා. ඇයට එක දිගටම ලැබුණු මිතුරු ඇරයුම් ගණනද නිමක් නොවුණා. ඇය සොයා නොබලා ඒ මිතුරු ඇරයුම් සියල්ල පිලිගත්තා. එක් මිතුරු ඇරයුමක් පිළිගත් විගසම, ඒ ෆේස්බුක් ගිණුමේ හිමිකරු අමන්දාට ෆේස්බුක් පණිවිඩයක් එව්වා.

“අමන්දා, ඔයා හරිම ලස්සනයි. හරියට පුංචි සුරංගනාවියක් වගේ. මං කැමතියි ඔයාත් එක්ක කතා කරන්න..”

අමන්දා ඒ ෆේස්බුක් ගිණුම විවෘත කොට බැලුවාය. එහි සදහන් වූ පරිදි නම් ඒ දහනව හැවිරිදි තරුණයෙකි. ෆේස්බුක් ගිණුමට යොදා තිබුණු ප්රොෆයිල් පින්තූරයේ තිබුණේ කඩවසම් තරුණයෙකුගේ රුවකි. අමන්දා දෙවරක් නොසිතාම ඒ පණිවිඩයට උත්තර ලීවාය.

කැනඩාවේ බ්රිටිෂ් කොලොම්බියා ප්රාන්තයේ ජීවත් වූ අමන්දා ටොඩ් ඒ වන විට දොලොස් හැවිරිදි දැරියක වූවාය. නව යෞවනයේ එලිපත්තේ උන් ඇගේ පෙනුම බෙහෙවින්ම සුන්දර විය. ඒ වන විටත් ඇය ෆේස්බුක් සමාජජාලයේ නිතර සැරිසරන්නියකව උන්නාය. ඇය වරින් වර ඇගේ සුන්දර ඡායාරූපයන්ගෙන් මුහුණුපොතේ ගිණුම සැරසුවාය. ඉතින් අමන්දා මේ කියන තරුණයාව හදුනා ගත්තේ ඒ මුහුණු පොත් ගිණුමෙනි.

මුහුණුපොත හරහා ඇති කරගත් දැන ඇදුනුම් කම, වැඩි දවස් යන්නට කලියෙන් ප්රේමයක් බවට පත් විය. මුලින් මුහුණු පොතේ පණිවිිඩ මගින් අදහස් හුුවමාරු කරගත් දෙදෙනා, ඉක්මනින්ම ස්කයිප් තාක්ෂණය ඔස්සේ වීඩියෝ ඇමතුම් හරහා පෙම්බස් දොඩන්නට වූුහ. කාගේ කවුරුන්දැයි කියන්නට නොදන්නා මුත් අමන්දා මේ ෆේස්බුක් පෙම්වතාට දැඩිව ආදරය කරන්නට පටන් ගෙන තිබුණාය.

දිනක් අමන්දා සමග වීඩියෝ ඇමතුමකින් පෙම්බස් දොඩමින් උන් පෙම්වතා ඇගෙන් අමුතු ඉල්ලිමක් කළේය. ඒ ඇගේ නිරුවත් උඩුකය තමාට පෙන්වන ලෙසය.

“බෑ බෑ.. මට ඒක නම් කරන්න බෑ..” මුලින් මුලින් අමන්දා ඒ ඉල්ලීම ප්රතික්ෂේප කළාය.

“බැරිද..? එහෙනම් ඉතින් මට ආයෙත් කතා කරන්න එපා. මං තරහයි..” දිගින් දිගටම පෙරැත්ත කර බැරිම තැන පෙම්වතා ඇය සමග තරහ වන බවත් කීවේය. ඔහු තමාට අහිමිවනු ඇතැයි හිතන්නටවත් අමන්දා කැමති වූයේ නැත. අන්තිමේදී ඇය අකමැත්තෙන්ම ඔහුගේ ඉල්ලීමට එකග වූවාය. “වෙබ් කැම්” ඉදිරියේ තම උඩුකය ඇදුම ඉවත් කොට පෙම්වතාට ඇගේ නිරුවත් උඩුකය පෙන්වූවාය. එහෙත් ඒ මොහොතේ පෙම්වතා ඇගේ නිරුවත් උඩුකය ඡායාරූප ගත කරගත් බව අමන්දා දැන උන්නේ නැත.

තවත් දිනෙක ෆේස්බුක් පෙම්වතා අමන්දාගෙන් ඊටත් වඩා වැඩි දෙයක් ඉල්ලුවේය. එනම් ඇගේ නිරුවත මුළුමනින්ම දැකගන්නට උවමනා බවයි. අමන්දා එයට එකග වූයේ නැත. ඔහු පුරුදු පරිදිම පෙරැත්ත කරන්නට වූයේය. එහෙත් අමන්දාට එයට එකග වෙන්නට හිත හදා ගන්නට නොහැකි විය. අන්තිමේදී අමන්දා එසේ නිරුවත්ව පෙනී නොසිටින්නේ නම් අමන්දාගේ උඩුකය නිරුවත් පින්තූරය ඇගේ මිතුරු මිතුරියන්ටත් පවුලේ අයටත්, ඥාතීන්ටත් යවන බවත්, අන්තර්ජාලය ඔස්සේ එය ප්රචලිත කරන බවත් කියමින් ඔහු ඇයට තර්ජනය කරන්නට වූයේය.

එහෙත් අමන්දා එය කළේ නැත..

දවසක් පාන්දර හතරට ඇගේ නිවසේ දොරට තට්ටු කරනු ඇහුණා.. ඇවිදින් සිටියේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්. අමන්දාගේ උඩුකය නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයේ ඇති බව ඇයට දැනුම් දෙනු ලැබුණා.

අමන්දාට දැනුණේ ලෝකයම බිද වැටුණු අයුරකි. ඇය දන්නා කියන හැම කෙනෙක්ම මේ පින්තූරය දැක තිබිණ. මග යන එන විටත්, පාසලේදීත් නොයෙක් අපහාස වලට මුහුණ දෙන්නට අමන්දාට සිදුවිය. එතැන් සිට ඇය කිසිවෙකුට මුහුණ දෙන්නට කැමති නොවූවාය. නිවසින් පිටතටවත් යන්නට අකමැති වූවාය. බියත් ආතතියත් නිසා ඇය මානසිකව රෝගී වූවාය.

අමන්දාව මේ තත්වයෙන් මුදවා ගන්නට සිතමින් ඇගේ දෙමාපියෝ ඒ ප්රදේශය හැර යන්නට තීරණය කළහ. ඈත පලාතකට පදිංචියද මාරු කර, අලුත් පාසැලකට ගියද අමන්දාගේ බියත් ආතතියත් නැති වූයේ නම් නැත. පියවි සිහියෙන් සිටින හැම මොහොතක්ම විදවීමක් වූ හෙයින්ම අසරණ අමන්දා මත් ද්රව්ය වල පිහිට සොයන්නට වූවාය. ඇය මතට ඇබ්බැහි වූවාය. ඇගේ ඉගෙනීම බිද වැටෙන්නට විය. දක්ෂ සිසුවියකව උන් ඇයගේ මතකය සීග්රයෙන් පිරිහෙන්නට විය.

වසරකට පසුව, නැවතත් අර පාපතරයා අමන්දාව සොයා ආවේය. අමන්දාගේ අලුත් ෆේස්බුක් ගිණුමද ඔහු කොහෙන් හෝ සොයාගෙන තිබිණ. ඔහු ආවේද අලුත් ෆේස්බුක් ගිනුමක් සමගිනි. ඔහු ඒ ගිණුමට එක් කරගෙන තිබුණේ අමන්දාගේ පාසැල් මිතුරු මිතුරියන්වය. ඇගේ නෑදෑයින් හා ගුරුවරුන්වය. ඔවුන් සියල්ල එකතු කරගත් පසුව ඔහු ඒ ෆේස්බුක් ගිණුමේ ප්රොෆයිල් පින්තූරය මාරු කලේය. අලුත් පින්තූරය වූයේ අමන්දාගේ උඩුකය නිරුවත් ඡායාරූපයය.

අලුත් පාසැලේ මිතුරු මිතුරියන්ගෙන්ද කොන්වූ අමන්දා යලිත් අනේක විධ නින්දාවන්ට මුහුණ දෙන්නට වූවාය. එය දරා ගන්නට බැරි තැන යලිත් තමන්ගේ කාමරයටම වී ජීවත් වෙන්නට පටන් ගත්තාය. දිනෙන් දින වැඩි වැඩියෙන් මත්ද්රව්ය වලට ඇබ්බැහි වූවාය. අමන්දාගේ දෙමාපියෝ යලිත් වරක් පදිංචිය මාරු කළහ. අමන්දාට යලිත් අලුත් පාසැලක් ලැබිණ.

ඒ පාසැලේදී කිසිවෙකු සමග ආශ්රය කරන්නට පවා ඇය බිය වූවාය. පාසැල් ආපනශාලාවේ කොණක හිද තනියම කෑම ගන්නට පුරුදු වූ ඇය පන්තියේදීවත් කිසිවෙකු සමග වැඩි කතා බහක් නොකළාය. හැමදාමත් රැය පුරාම ඇය ඉකිබිද වැලපුණාය. ඒ පින්තූරය දැන් ඉතින් අන්තර්ජාලයට ගොස් හමාරය. එය ආපසු ගන්නට නොහැකිය. ඇගේ ගෞරවයත් සැනසීමත් ආපසු ලැබෙන්නේම නැත. ඇය මුළු ලෝකයටම බියෙන් මුළුගැන්වෙන්නට පටන් ගත්තාය.

එහෙත් ඇය තනිකමටත් බිය වූවාය.. මේ හැගීම් බෙදා ගැනීම කෙසේ වෙතත් අඩුම ගණනේ ලගින් ඉන්නට හෝ ඇයට කිසිවෙකු උවමනා විය. අලුත් පාසැලේ වැඩිමල් පිරිමි ළමයෙකු ඇයට ලං වූයේ ඒ අතරය. එහෙත් ඇය බලාපොරොත්තු වූ පරිදි ඔහු ඇයට ආදරය කළේ නැත. ඔහු ඇයව මිතුරන්ගේ නිවෙස් වලට ගෙන ගොස් ඇගෙන් අයුතු ප්රයෝජන ගත්තේය.

අන්තිමේදී ඔහු කීවේද අමුතු කතාවකි.

“ඔයා කවුද කියලා මං හොදටම දැනගෙන හිටියා.. කවුද ඔයා වගේ නරක කෙල්ලෙකුට ආදරේ කරන්නේ..” ඔහු අමන්දාට සිනාසුණේය. එදාම ඔහුගේ සැබෑ පෙම්වතිය පාසැලේදී අමන්දාට බිම දමාගෙන පහර දුන්නාය. ඇගේ මිතුරු මිතුරියන් එක්ව අමන්දාව කාණුවකට ඇද දැමූහ. ජරා ගෑනි, ගණිකාව වැනි පරුෂ වචනයන්ගෙන් ඇයට පරිභව කළහ. පාසැලේ අනිත් ළමයින් තම ජංගම දුරකථන වලින් ඒ සිදුවීම වීඩියෝ කලා මිස කිසිවෙකු ඇයට පිහිටක් වූයේ නැත. ඇය තනිව කාණුවේ වැටී හඩමින් උන්නාය. සිද්ධිය සැලවූ ඇගේ පියා පැමිණ ඇයව කැදවාගෙන ගියේය.

එකම එක මොහොතක, දුර දිග නොබලා ඇය කළ එක් වැරැද්දක් නිසා මුළු ලෝකයම ඇයට අකාරුණික වී තිබිණ. ඒ වරද යලි නිවැරදි කරගන්නට ඇයට නොහැකිය. ඉතින් මේ ලෝකයෙන් සමුගෙන යන්නට අමන්දාට උවමනා විය.

අමන්දා ටොඩ් සිය දිවි නසාගන්නට සිතා වස පානය කළාය.

එහෙත් ඇගේ උත්සාහය සාර්ථක වූයේ නැත. ඇයව බේරාගන්නට වෛද්යවරුන්ට හැකි විය. එහෙත් ඒ වන විට අමන්දා උන්නේ සෑහෙන දුර්වල තත්වයකය. කායිකව දුර්වලව උන්නාටත් වඩා ඇය මනසින් බිද වැටී සිටියාය.

කෙසේ වෙතත් ඇයට අනුකම්පා කරන්නට තරම් ඇය අවට ලෝකය කාරුණික වූයේ නැත.

“හොද වැඩේ ඔය ජරා කෙල්ලට..”

“ඕකිට ඔහොම වෙලා මදි…” අසනීපයෙන් සිටින තමන්ට ලැබෙන ප්රතිචාර දෙස ඇය ශෝකයෙන් බලා උන්නාය.

තවත් මාස හයක් ගෙවී ගියේය. ඒ සය මසක කාලය තුළ හැම දවසක්ම අමන්දා ගෙවූයේ මැරෙන්නට අලුත් ක්රමයක් ගැන සිතමිනි.

2012 සැප්තැම්බර් නව වෙනිදා අමන්දා ටොඩ් “මගේ කතාව” නමින් යූ ටියුබ් වීඩියෝවක් නිකුත් කලාය. ඇයට සිදුවූ සියල්ල ඇය එහි කියා තිබුණාය.

එහෙත් ඇයට අනුකම්පා කළ කිසිවෙකුත් නැත.

එයට මසකට පමණ පසු, 2012 ඔක්තෝබර් 10 වන දින, පාන්දර 6.00 ට අමන්දා ටොඩ් තමන්ගේ නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් උන්නාය.

ජීවත්ව සිටියදී අමන්දාගේ ආයාචනයන්ට උණු නොවුණු සිත් සියල්ල ඇගේ මරණය වෙනුවෙන් සංවේදී වී තිබිණ. ඇය යූ ටියුබ් අඩවියට එකතු කළ වීඩියෝව වෛරසයක් මෙන් පැතිර යන්නට විය. එය නැරඹූ ගණන, ඇය වෙනුවෙන් ශෝක වන ගණන මිලියනය ඉක්මවීය. ලෝකයේම මිනිසුන් අමන්දා වෙනුවෙන් කතා කරන්නට වූහ. අමන්දාට අත්වූ ඉරණම පුලුල් කතිකාවතකට ලක් විය. සයිබර් හිංසනයට එරෙහිව නීති සැකසෙන්නට තරම් ඒ කතිකාවත ප්රබල විය.

එහෙත්…. අප මතක තබා ගත යුතු එක් දෙයක් ඇත.

අමන්දා, සයිබර් හිංසනයේ අවසන් ගොදුර නොවේ. මේ සයිබර් අවකාශය බිහිසුණු අඩවියකි. සිහි නුවණින් සැරිසැරිය යුතු බිමකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: