hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2024 ජනවාරි 01, පෙ.ව. 1:41



 සුරූපී කාන්තාවන්ගේ පහස විඳීමට ප්‍රභූ පැළැන්තියේ පුද්ගලයන් නිරතුරුවම පැමිණෙන තලවතුගොඩ සුඛෝපභෝගී  ගණිකා නිවස වටලා සුරූපි කතුන් සිව්දෙනෙකු ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන බලකාය පවසනවා.

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට පානදුර වලාන දූෂණ මර්දන බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද රහසිගත තොරතුරකට අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය සඳහන් කළා.

පොලිස් උපාය දූතයෙකු සුඛෝපභෝගී මෝටර් රථයකින් ගැනුම්කරුවකු ලෙස වෙස් වලාගෙන එම මධ්‍යස්ථානයේ වෙත කාන්තාවක් මිලදී ගැනීම සඳහා ගිය අවස්ථාවේදී  සැකකාර කළමනාකරු ඔහුව උණුසුම් අයුරින් පිළිගෙන ඒ තුළට රැගෙන ගොස් සුරූපී කාන්තාවන් දෙසට අත දික් කර “ඔබට කැමති  කෙනෙක් නිදහසේ තෝරා ගන්න සර් “යැයි ඉංග්‍රීසි බසින් පවසා ඇතැයි පොලිසිය කියා සිටියා.

එම මධ්‍යස්ථානය සඳහා ඇතුල්වීම සඳහා රුපියල් 6000 ක මුදලකුත් කාන්තාවකගේ සේවය ලබා ගැනීම සඳහා තවත් රුපියල් 6000ක මුදලක් හා ඊට එහා ගිය සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් අතිරේක මුදලකුත් වැය කිරීමට සිදුවන බව කළමනාකරු පොලිස් උපාය දූතයාට පවසා ඇතැයි පොලිසිය සඳහන් කළා.

පොලිස් උපාය දූතයා ලෙස එම ස්ථානයට ගිය පොලිස් නිලධාරියා ඉතා සූක්ෂම ලෙස කලින් සැලසුම් කරගත් පරිදි ජංගම දුරකථනය හරහා එම ගණිකා මධ්‍යස්ථානය ආසන්නයේ රැඳී සිටි වැටලීම් කණ්ඩායමේ නායකයා වන උප පොලිස් පරීක්ෂක චතුරංග නිලධාරියාට ලබාදුන් රහසිගත සංඥාවක් අනුව එම ස්ථානයේ වැටලීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

එම ගණිකා මධ්‍යස්ථානය පිහිටි ඉඩම සහ එම ගොඩනැගිල්ල මනස්කාන්ත අයුරින් ආකර්ෂණීය පෙනුමකින් වායුසමීකරණය කර සකස්කර අභ්‍යන්තරය විවිධ වර්ණයෙන් යුත් අඩ අඳුරු විදුලි බල්බ දල්වා, අඩ නිරුවතින් සැරසී සිටින සුරූපී තරුණියන් ආකර්ෂණයක් ඇති වන අයුරින් ගැනුම්කරුවන්ට තම සිතැඟි පරිදි තෝරා ගැනීමට හැකිවන ලෙස සැටියක් මත එක පෙලට හිඳුවා  තිබූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසුවා.

කොට්ටාව ප්‍රදේශයේ දැන්වීම් ප්‍රචාරක සමාගමක හිමිකරුවකු ඔහුට අයත් ගොඩනැගිල්ලේ මෙම ගණිකා මධ්‍යස්ථානය කාලයක සිට සිදු කරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

මාවතගම, මාතර, ඉබ්බාගමුව හා බුලත්සිංහල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26 හා 34 අතර පසුවන සුරූපී කාන්තාවන්  කොළඹ ප්‍රධාන පෙළේ  සමාගම් වල නේවාසිකව රැඳී සිට උසස් තනතුරු දරන බව සිය නිවෙස් වලට පවසා ගණිකා වෘත්තියේ යෙදෙන බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් සහ සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන මර්ධන කාර්ය බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ වැටලීම භාරව කටයුතු කර ඇත්තේ උප පොලිස් පරීක්ෂක චතුරංග, පොලිස් සැරයන්වරුන් වන 34950  සම්පත්, 75056 ඉන්දික, 91305 පොලිස් කොස්තාපල්වරුන් වන රශ්මික 104679 නෙරන්ජන්, 94734  රුද්‍රිගු,105004  කඩුජන්, කාන්තා පොලිස් කොස්තාපල් 10523  සුසන්තිකා මහත්ම මහත්මීහු වැටලීම සිදු කළා.