hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10



ජනප්‍රිය රංගන ශිල්පිනී අයේෂා මධුෂානි විසින් ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ බලකායේ නිල ඇඳුමක් හැඳ ලබාගත් ඡායාරූප සහ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් යුද හමුදා කමාන්ඩෝ බලකායේ ඉහළ නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති බව කියයි.

ඇය සඳහන් කර ඇත්තේ, හුදෙක්ම සිය නොදැනුවත්කම සහ එම නිල ඇඳුම ඇඳීමට තිබූ දැඩි ආශාව හේතුවෙන් තමන්ගේ ජංගම දුරකථනයෙන් මෙම වීඩියෝව ලබාගෙන පළ කළ බවයි. එමෙන්ම, අදාළ වීඩියෝව හෝ ඡායාරූප තමන් රංගනයෙන් දායක වන ටෙලිනාට්‍යයේ ප්‍රවර්ධන කටයුත්තක් සඳහා යොදාගත්තක් නොවන බවත්, ටෙලිනාට්‍ය කණ්ඩායමේ කිසිවෙකුත් මේ පිළිබඳව දැනුවත් වී නොසිටි බවත් ඇය අවධාරණය කර ඇති බව කියයි.

තවද, තමන් අදාළ ටෙලිනාට්‍යය තුළද එම කමාන්ඩෝ නිල ඇඳුමෙන් රංගනයේ නොයෙදෙන බවත්, යුද හමුදා නිල ඇඳුමට ඇති ගෞරවයට හානි කිරීමේ හෝ එය අවභාවිත කිරීමේ කිසිදු අදහසක් තමන්ට නොතිබූ බවත් පවසමින් ඇය සිය නිවේදනය හරහා කරුණු පැහැදිලි කර ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව, සන්නද්ධ අංශවල නිල ඇඳුම් හෝ ඊට සමාන ඇඳුම් සිවිල් පුද්ගලයින් විසින් නිසි අවසරයකින් තොරව භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි.

1. යුද හමුදා පනත (Army Act) සහ දණ්ඩ නීති සංග්‍රහයේ 138 වගන්තිය යටතේ, හමුදා නිල ඇඳුම් අනුකරණය කිරීම හෝ අවභාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

2. පසුගිය කාලයේදී පොලිස් සහ හමුදා නිල ඇඳුම් ළඟ තබාගත් සහ විකුණූ පුද්ගලයින් දෙදෙනෙකු පානදුර සහ බණ්ඩාරගම ප්‍රදේශ වලදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

3. සමාජ මාධ්‍ය වල හමුදා නිල ඇඳුමින් සැරසී වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ විමර්ශන ආරම්භ කර ඇති අවස්ථා කිහිපයක්ම පසුගිය වසරේදී වාර්තා විය. විශේෂයෙන්ම TikTok / Facebook වල මෙවැනි වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය (Corps of Military Police) වෙත පැමිණිලි කළ හැක.

මෙම සිදුවීමත් සමග සමාජ මාධ්‍ය තුළ ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණු අතර, බොහෝ රණවිරු පවුල් වල සාමාජිකයින් මෙම ක්‍රියාවට විරෝධය පළ කර තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: