hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 28, පෙ.ව. 9:31



පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විදෙස්ගතව තිබෙනවා.

ඔහුට මරණ තර්ජන එල්ල කළ පිරිස අතර කංජිපානි ඉම්රාන්ද සිටින බව සඳහන්.

පසුගිය 14 වනදා පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විදෙස්ගතවී තිබුණි.

පෞද්ගලික ආරක්ෂයන්ද සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඔහු ප්‍රංශය බලා පිටක්ව ගොස් ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් ඔහුට සහ පවුලේ අයට එල්ලවන බව කියන  මරණ තර්ජන හමුවේ බව වාර්තා වෙනවා.

කප්පම් ගැනීමේ සිද්ධියක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හීනටියන මහේෂ් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බව පවසමින් ඔහුට දුරකථන ඇමතුමක් දී තිබුණි.

පසුගියදා අදුරුප්පුවීදිය පොලීසිය තුළදී සැකකරුවන් දෙදෙනකුට වස ලබාදීමේ සිද්ධියේ විමර්ශන සිදුකළේද පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමකි.

විමර්ශනවලදී  සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වීමත් සමග නැවත  පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජන එල්ලවී තිබුණි.

ඒ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගෙන් බව පැවසෙයි.

මෙලෙස පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් එල්ලවන දැඩි තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාට සන්තකයේ තබාගැනීම සඳහා නිල ගිනි අවියක් ද නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් සිය ආරක්ෂාව තකා ඔහු ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබෙන්නේ සිය බිරිඳ සහ සත් හැවිරිදි දියණිය මෙරට ආරක්ෂිත ස්ථානයක සඟවමිනි.

“මට පහුගිය කාලය තුළ කොළඹ සිද්ධවෙච්ච සියලුම මනුෂ්‍ය ඝාතනවලට අදාළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ විමර්ශනය කරලා. නමුත් මේ විමර්ශන දිගින් දිගටම කරගෙන යනකොට පාතාල කල්ලි සියල්ල අල්ලගෙන යනකොට මගේ ජීවිතයට සහ මගේ බිරිඳගේත්, දියණියගේත් ජීවිතවලට තර්ජනයක් ආවා. මං ඒවා නොතකා දිගින් දිගටම රාජකාරි කළා. අන්තිමට මම ලංකාවෙන් ආවේ 14 වැනිදා. එදා එනකොටත් මම ආදුරුප්පුවීදිය පොලිසියේ සැකකරුවන්ට වසදීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කරලා ආවේ ප්‍රංශයට. මේ දිගින් දිගටම තියෙන තර්ජන හේතුවෙන් තමයි මම රටින් ආවේ. දැන් මම ලංකාවෙන් ආවත් මගේ දියණිය බිරිඳ මගේ නිල නිවාසයෙන් එළියට ගෙනල්ලා හංගලා තියෙන්නේ. එයාලගේ ජීවිතවලට ලොකු ප්‍රශ්නයක් තියෙන හින්දා. මම ඉල්ලා හිටින්නේ ඒ කට්ටියගේ ජීවිතවලට තර්ජනයක් නොවෙන ආකාරයෙන් එයාලව ආරක්ෂා කරලා දෙන්න කියලා. රටේ, හරි ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා නිවැරදි ගමන් මාර්ගයක් ඔස්සේ යනවනම් මට තව දශක දෙකකට වැඩි සේවා කාලයක් තියෙනවා. ඕනම වෙලාවක ලෑස්තියි ඇවිල්ලා රට වෙනුවෙන් වැඩකරන්න”.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පසුගිය වසරේ වැඩිම මනුෂ්‍ය ඝාතන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් නිලධාරියා බව පොලිස් ආරංචිමාර්ග පැවසුවා.

එමෙන්ම පසුගිය වසරේදී නීතිවිරෝධී ගිනි අවි හා අත්බෝම්බ වැඩිම ප්‍රමාණයක්  අත්අඩංගුවට ගෙන ඇත්තේද ඔහු බව සඳහන්.

හරක්කටා CIDයෙන් පලායෑමේ සිද්ධියේදී විමර්ශන සිදුකළ දුමින්ද ජයතිලක මහතා විසින් ඊට අදාළ සැකකරුවන් රැසක්ද අත්අඩංගුවට ගත් අතර ඔවුන් බහුතරයක් මේවන විටත් කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කෙරෙයි.

පාතාලයට එරෙහිව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්ට පාතාලයෙන් තර්ජන එල්ලවීම් මෙන්ම එවන් නිලධාරීන් ඝාතනයට ලක්වූ අවස්ථාද පසුගිය කාලයේ වාර්තා වුණා.

එවන් පසුබිමක මෙවන් නිලධාරීන් ආරක්ෂා කරගැනීම, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සිය ප්‍රමුඛ අරමුණ කරගත් අභිනව පොලිස්පතිවරයාගේ වගකීම වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: