hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 8:54



ප්‍රවීණ රංගධරයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙක, නිෂ්පාදකවරයෙකු මෙන්ම ගායකයෙකු ද වූ ජැක්සන් ඇන්තනී මහතා අද (09) අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 65 වැනි වියේ පසුවුණා.

2022 වසරේ ජුලි මස 22 වැනිදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථය, වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක්වුණේ, අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දීයි.

එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රොහල වෙත රැගෙන එනු ලැබුවා.

අනතුරුව ඔහු කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ වසර එක හමාරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී දී අද (09) අළුයම මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ.

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි (උපත 1958 ජූලි 8) හෙවත් ජැක්සන් ඇන්තනී උපත ලැබුවේ 1958 වස‌රේ ජූලි 08 වැනිදායි.

ඔහු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් පමණක් නොව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා රචක, තීර රචක, ගීත රචක, ඉතිහාසය සහ සංචාරක යන අංශ තුළද කැපී පෙනෙන ලක්ෂණ පෙන්නුම් කළ දැවැන්ත අයෙක්.

කුමාරි සඳලතා මුණසිංහ සමග අතිනත ගත් ජැක්සන් ඇන්තනී දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකි.

මාධවී වත්සලා, අකිල ධනුද්දර සහ සජිත ඇන්තනි ද ශ්‍රී ලාංකීය කලාවට මහගු සම්පතක් බවට දැනටමත් පත්ව තිබෙනවා.

ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු වන ඇන්තනි හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත දහසය වතාවක් දිනා ගෙන තිබෙනවා.

මෙරට ප්‍රෞඩ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන ගිය ඒ මහතා රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස ද සිය හැකියාවන් පෙන්නුම් කර තිබෙනවා.

ජැක්සන් ඇන්තනී නම් අසහාය රංගවේදීයා සිය රංගනයෙන් දායකත්වය සැපයූ චිත්‍රපට අතර,

ගුරු ගෙදර, චිට්ටි, අයෝමා, වීසි දැල (1994), ලොකු දුව (1994) ,භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නිදාහය (2002), සූරිය අරණ (2004), මිල්ලෙ සොයා (2004), රන්දිය දහර (2004), ගරිල්ලා මාර්කටින් (2005), ධීවරී (2006), කුරුලු පිහාටු (2006), අබා: පණ්ඩුකාභය (2008) – අධ්‍යක්ෂණය, ප්‍රවේගය (2015), ඇඩ්‍රස් නෑ (2015), ධර්ම යුද්ධය(2017) යන චිත්‍රපටවලට විශේෂ තැනක් හිමිවෙනවා.

දෙස් විදෙස් සම්මාන ගණනකට හිමිකම් කියන ජැක්සන් ඇන්තනී මහතා සිය අත්දැකීම් අනාගත දරු පරපුර වෙනුවෙන් ලබාදීම වෙනුවෙන් ද අතිවිශාල කැප කිරීමක් ද සිදුකරනු ලැබුවා.

“පනාපත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: