hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 04, පෙ.ව. 10:01



රිය අනතුරකට ලක් වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදු කළ සැත්කමකින් අනතුරුව ඊයේ (03) අලුයම ජාතික රෝහල වෙත රැගෙන ආ බවයි.

ඊයේ දිනයේදී සැත්කමක් සිදු කළ බවත් අද දිනයේදී ඔහුට තවත් සැත්කමක් සිදු කිරීමට නියමිත බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.

අනතුරින් තුවාල ලැබූ අනෙක් දෙදෙනා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේ බව සඳහන් වෙනවා.

ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් මෝටර් රථය පෙරේදා (02) දින අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් අනතුරකට ලක් වී වුණා.

ඔවුන් ගමන් ගත් කැබ් රථයට ද අනතුරින් දැඩි හානි සිදුව තිබෙනවා.

මොරගොඩ ප්‍රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එක්ව තුවාල ලැබූ එම පිරිස රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔහු මෙම අනතුරට මුහුණ දෙන්නේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කරන සිංහබාහු සිනමාපටයෙහි දවසේ රූපගත කිරීම් නිම වී නවාතැන් ගෙන සිටින ඉසව්ව බලා ගමන් කරනවා අවස්ථාවේදීයි.

මේ පිළිබඳව සිංහබාහු සිනමා කෘතියේ නිෂ්පාදිකාව වන රේණුකා බාලසූරිය මහත්මිය මෙසේ සඳහන් කළා,

“එදා තරමක් අදුර වැටෙන තුරු රූපගත කිරීම් තිබුණා. ඊට පස්සේ තමයි ජැක්සන් අයියා හෝටලය බලා යන්න පිටත් වුණේ. ඒ වෙද්දී ඔහු එක්කම එකට රඟපාපු ජැක්සන් අයියගේ සොහොයුරා සමන් ඇන්තනී වගේම ඉරේෂ් කියලා කෙනෙකුත් ආවා. ඒ වගේම ඊට පිටුපසින් සෝමේ අයියා ගමන් කළ වාහනයත් තිබුණා. තවත් වාහන කීපයකුත් ආවා. කෝමහරි වාහනයේ හිටපු ජැක්සන් අයියා කතා කර කර එද්දී තමයි අලියා කළුවරේම පාර මාරුවී තියෙන්නේ. පාර මාරු වූ වන අලියා වාහනේ හැප්පී ඒ උඩට ම පෙරලිලා. ඊට පස්සේ ඌ නැගිටලා යන්න ගිහින්. අලියට ලොකු තුවාල නෑ. වනජීවී නිලධාරීන් ඌ ගැන බලලා අපිට ඒ ගැන කිව්වා. ජැක්සන් අයියට දැන් ප්‍රතිකාර ලබා දෙනවා. දැනට කතාබහ එහෙමත් කරනවා. සමන්ගෙ කටේ ඇතිවුණු තුවාල නිසා පෙණහැල්ලට ලේ ගිහින්. දැන් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙනවා. ඉරේෂ්ගේ නම් හිසේ තියෙන්නෙ පුංචි තුවාලයක් විතරයි.”