hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 18, පෙ.ව. 12:00



අතිශය ජනාකීර්ණ කඳාන නගරය සමීපයේ ඇති ශාන්ත සෙබස්තියන් මුනිඳුන් ගේ සිද්ධස්ථානය වෙත එක්තරා
රාත්‍රියක ගමන් කරමින් සිටි බව පැවසෙන සුවිශේෂතාවයක් දක්වන කාන්තා රූපයක වීඩියෝ දර්ශන කිහිපයක්
පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල ඔස්සේ වේගවත් ලෙස පැහිර යමින් තිබෙනවා. 

එහි සුවිශේෂත්වය වනුයේ එම කාන්තා රූපය කතෝලික දහමේ පරමාදර්ශී කාන්තා රත්නය වන ජේසුස් වහන්සේ ගේ මෑණියන් වන මරියා තුමිය හෙවත් දේව මාතාව ගේ ප්‍රතිමාවලට අතිශය සමාන ලෙසින් දිස්වීම ය.

එම කාන්තාව හැඳ සිටින ඇඳුම මෙන්ම ඇගේ පෙනුම හෙවත් රූපකාය ද දේව මාතා පිළිරුවකට බෙහෙවින් සමාන බව එම
වීඩියෝ පට දකින ඕනෑම අයකුට වැටහෙනු ඇත.

එක්තරා රාත්‍රියක කඳාන නගරයේ සිට ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයන් ගේ සිද්ධස්ථානය තෙක් වැටී ගත් මාවත ඔස්සේ රථ වාහන අතුරින් ගමන් කරන ඇය කිහිප දෙනකුගේ වීඩියෝ ගත කිරීම් වලට ද ලක්ව තිබෙනවා.

එමෙන්ම ජවි වර්ණය ආදී කරුණු මත ඇය ශ්‍රී ලාංකේය කාන්තාවක නොවන බව වටහා ගන්නා සමහරෙකු ඇගෙන් “ඔබ කොහේ සිට ද?” යනුවෙන් ඉංග්‍රීසි බසින් අසා සිටින අන්දමත් සමාජ ජාල ඔස්සේ සංසරණය වන ඒ වීඩියෝ පට මගින් සනාථ වෙනවා.

එහෙත්, ඇය ඒවාට පිළිතුරු නොදී සිය ගමනේ යෙදෙන අතර “බය නෑ, එයා හොඳට හිනාවෙලා ඉන්නේ” යනුවෙන් කාන්තාවක සිංහලයෙන් පවසන හඬක් ද එක් වීඩියෝවකින් ඇසෙයි.

ඉහත සඳහන් කරුණු අනුව මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය.

ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි විමසුමක දී ස්ථානීය පරීක්ෂණ අතිශයින්ම වැදගත් වන බැවිනි.

එම විස්මය ජනක සිදුවීම මුල් කොට ඒ වන විට කතෝලික බහුතරයකින් යුතු එම ප්‍රදේශයේ ජන මනැස යම් තරමකට හෝ කැළඹී ඇතැයි යන්න එහි යාමට පෙර පැවැති මගේ මූලික අනුමානය විය.

එහෙත්, මා විස්මයට පත්ක රමින් කඳාන ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානය අවට කිසිවකුටත් ඒ පිළිබඳව වගේ වගක් නොමැති බව එහි ගිය සැනින් මට වැටහිණ. එහි දී මට හමු වූ සමහරකු පවසා සිටියේ එවැනි කිසිදු සිද්ධියක් පිළිබඳව අඩුම
තරමින් තමන් අසාවත් නොමැති බවකි.

’‘ඕක මේ පරණ කතාවක්නේ” එහිදී මට හමු වූ යූ. එම්. රුද්‍රිගු මහතා උපහාසයෙන් සිනාසෙමින් කීය.

ඔහු ද ඒ ප්‍රදේශයේම පදිංචි කරුවෙකි.

’‘මේ පල්ලියේ මංගල්‍යය තිබුණේ පහුගිය ජනවාරි විසි වෙනිදා. ඊට කිට්ටුම දවසක රෑක දේව මෑණියෝ
වගේ ඇඳුමක් ඇඳ ගත්තු තරුණ සුද්දියෙක් මේ පාර දිගේ ඇවිත් පල්ලියට ඇතුල් වෙන්න හදලා තියනවා. ඒත්,
මෙයා ගැන සැක කරපු පල්ලියේ ආරක්ෂාවට හිටපු පිරිස් මෙයා ගෙන් විස්තර අහලා තියනවා. මෙයා
අයර්ලන්ත ජාතික තරුණියක්ලු. සමහරු නම් කියනවා රුසියන් ජාතික තරුණියක් කියලත්. කොහොම හරි මේ
තරුණියගේ ඒමෙන් පල්ලියෙයි ඒකට එන සෙනඟගෙයි ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන් හින්දා එතන හිටපු
කාන්තා පොලිස් නිලධාරිනියන් මෙයාගේ අනන්‍යතාව පරීක්ෂා කරලා තියනවා. එතකොට මේ තරුණිය තමන්
ගේ හැඳුනුම්පත හැටියට දීලා තියෙන්නේත් දේව මෑණියන් ගේ රූපයක්. කොහොමත් ඒ කාරණේ උඩ මෙයාට
සිද්ධස්ථානයට ඇතුල් වෙන්න ඉඩ දීලා නැහැ. ඒ වගේම ඒ තරුණියත් ප්‍රචණ්ඩකාරී විදියට හැසිරිලත්
නැහැ. එයා ආපහු හැරිලා ගිහින් තියනවා; ඔච්චරයි ඔය කතාව.” රුද්‍රිගු මහතා කීයේ මා කෙසේවත්
නොසිතූ දෙයකි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් කඳාන ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ පාලනාධිකාරියෙන් වැඩිදුර
කරුණු විමසීමට මා දැරූ උත්සාහය ද අසාර්ථක විය.

එවිට එහි නියෝජිතයකු පවසා සිටියේ එම සිදුවීමට කතෝලික දහම,කතෝලික සභාව සහ එම සිද්ධස්ථානය කිසිදු සබැඳියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහසක් පළ කළ නොහැකි බවකි.

එවිට එම සාමාන්‍ය සිද්ධියට කඳාන ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ පාර්ශවයෙන් ද අනියමින් ප්‍රසිද්ධියක් ලැබෙන බව එම නියෝජිතයා ගේ මතය විය.

ඔහු අනියමින් පැවසූ අන්දමට එය කතෝලික දහමට කතෝලික සභාවට හෝ එම සිද්ධස්ථානයට කිසියම්
නිගරුවක් කිරීමට වෙනත් පාර්ශවයක් භාවිතා කළ තුරුම්පුවක් වීමට බැරි කමක් ද නැත.

විවිධ ආගමික ස්ථාන සම්බන්ධයෙන් බාහිරින් එල්ල වන මෙබඳු බලපෑම් හමුවේ ඉතා විධිමත් න්‍යායාත්මක
පදනමක් යටතේ උපායශීලීව ප්‍රතිචාර දැක්වීම අනිවාර්ය අවශ්‍යතාවකි.

එසේ නොකළ හොත් එමගින් එම ස්ථානීය ගෞරවයට සේම මූලික ආගමික සංකල්ප වලට ද බරපතල හානි සිදුවිය හැක. මෙහිදී එක්වරම අපගේ සිහියට නැංවෙනුයේ නාග ලෝකයේ සිට පැමිණි නාග රාජයකු කැලණි නදියෙන් මතු වීමක්
සම්බන්ධයෙන් එක් ඔල්මාද කාරයකු මවා පෑ විලම්බීතයට අනුගතව කැලණි රජ මහා විහාර පාලනාධිකාරිය
මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම පිළිබඳ ඛේදනීය සිදුවීම ය.

එමෙන්ම පසුගිය කාලයේ වාර්තා වූ හැටන් ප්‍රදේශයේ දෙව් මැදුරක තිබූ කඳුළු සළන බව කී දේව මාතා ප්‍රතිමාව සම්බන්ධයෙන් කතොලික සභාව එවැනි පක්ෂග්‍රාහී ප්‍රකාශයක් නොකිරීම ද ඉතා ඥානාන්විත ක්‍රියාවක් බව මගේ වැටහීම ය.මක් නිසා ද ඒවා ජනතාව මුලා කිරීම පිණිස ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරනු ලබන කූට මවා පෑම් බව ලොව අන්
රට වලින් ද වාර්තා වී ඇති බැවිනි.

ඒ අතර කඳාන ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයන්ගේ සිද්ධස්ථානය වෙත පැමිණි බව පවසන මෙම තරුණිය ගේ
පෙනුමට බෙහෙවින් සමාන තරුණියක් ඊට තරමක් වෙනස් එම ආකෘතියේ ම ඇඳුමකින් සැරසී කරේ බෑගයක් ද
එල්ලා ගෙන දිවා කාලයේ පෙනී සිටින වීඩියෝවක් ද මේ වන විට සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින්
තිබේ. එහි තරමක විශේෂත්වයක් පවතිනුයේ එම තරුණිය ප්‍රධාන මාර්ගයක් අද්දර පොද වැස්සේ තෙමෙමින්
දෑත් දෙපසට විහිදුවා කිසියම් අභිනයක, රංගනයක විලාසයක් දැක්වීම ය.

රූපකාය අනුව ඇය කඳානේ ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයන් ගේ සිද්ධස්ථානය වෙත පැමිණි තරුණියට බෙහෙවින්ම සමාන ය.“මේ නම් කීයට වත් කඳානේ වෙන්න බැහැ. මෙහෙම පාර තොටක් තියා භූ විෂමතාවක් වත් කඳාන කිට්ටුවක නෑ” ඒ වීඩියෝව සම්බන්ධයෙන් මා කළ විමසුමකට පිළිතුරු දුන් මේ වන විට කාර්ය බහුලවම ටෙලි නාට්‍ය
අධ්‍යක්ෂකවරයා ද වන ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කීය.

දශක ගණනක් පුරා මා හා සුහද සමීපත්වයක් පළ කරන සුමිතුරකු වන ඔහු ගේ මහ ගෙදර කඳානේ ශාන්ත
සෙබස්තියන් මුනින්ද්‍රයන්ගේ සිද්ධස්ථානය අද්දර පිහිටි අතර ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ද
කඳානේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙනි.‘ශිවා’ ගේ එම ප්‍රකාශය අනුව එම තරුණිය කවරෙකු හෝ
වේවා ඇගේ එම දේව මාතා විලාසය කඳානට අමතර වෙනත් ප්‍රදේශවල ද “රඟ දක්වා” තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: