hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 දෙසැම්‍බර් 19, ප.ව. 8:51



කලාවට ඕපපාතිකයෙක් නොවන අභිෂේකා විමලවීරගේ ලයාන්විත කටහඩට බොහෝ දෙනෙක් ප්‍රිය කරනු ලබනවා.

ඇය නිර්මාණය කරනු ලැබු බොහෝමයක් ගීත ද ජනතාවගේ ආදරයෙන් වැළදගනු ලැබු අතර පුංචි කාලයේ ඉදලම කලා හැකියාවෙන් පරිපුර්ණ ඇය ගීත රැසක්ම ගායනා කර තිබෙනවා.

එපමණක් නොව ඇය සමාජ මාධ්‍ය තුල නිතරම ක්‍රියාශීලි කලාකාරිනියක් ලෙස ද හදුන්වා දිය හැකි.

අභිෂේකා විමලවීර කියන්නෙ වත්මන් පරපුරේ ඉතාමත් ජනප්‍රිය ගායිකාවක්.

ඇයගේ ගීතවලට ආදරේ කරන පිරිස ඉතාමත් වැඩියි.

අභී කියන්නෙ ගායනයට විතරක් දක්ෂ කෙනෙක් නෙවෙයි.

ඇයට හරිම අපූරුවට වචන ගැළපීමේ හැකියාව තියෙනවා.

ඒ කියන්නෙ අභී ඉතාමත් දක්ෂ කවිකාරියක්.

පසුගිය දවසක පැවැත්වුණූ එක්තරා සම්මාන උළෙලක දී ජනප්‍රිය ගායිකා අභිෂේකාගේ භූමියට තවම පණ තියෙනවා කියන ගීතය සම්මානනීය ගීතයක් බවට පත් වෙනවා.

එම සම්මාන උළෙලේදී අභිෂේකා විමලවීරගේ හැසිරීම විවේචනය කරමින් කසුන් මහේන්ද්‍ර ලියමනක් සිය මුහුණුපොතට එකතු කර තිබුණා.

කොහොම වුණත්, අභිෂේකා විමලවීර සිය අතපසුවීම ගැන සඳහන් කරමින් සමාව අයැදීමක් සිදුකර තිබුණා.

ඒ සඳහා මාධවී ද සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ අභිශේකාව දරුණු ලෙස විවේචනය කරමිනුයි.

ඒ සම්බන්ධයෙන් භූමි හරේන්ද්‍රන් සිය මුහුණුපොතට මෙසේ සටහනක් එකතු කර තිබුණා.

ඉන්පසුව නැවත වතාවක් කසුන් මහේන්ද්‍ර සිය මුහුණුපොතට මෙසේ සටහනක් එකතු කර තිබෙනවා.

භූමිගේ අයිසින් තැවරූ සංවේදී බේගල් සහ පිටත ඇත්ත කටුක යතාර්ථය

සම්මාන හුටපටය ගැන තමාගේ අදහස භූමි හරේන්ද්‍රන් සිය සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබා ඇත. භූමිට මං හදවතින් ම ගරු කරන්නේ ඈ සිය ‘සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ අයිතීන් වෙනුවෙන් ගෙන යන අවංක අරගලය වෙනුවෙන්’ පමණි. ඈ තම සටහනේ ලියා ඇති අමු බේගල් සම්බන්ධයෙන් මේ ලියැවෙන්නේ කටුක ඇත්ත යතාර්ථයයි.

2022 වර්ෂයේ මැද භාගයේ යම් දිනෙක ‘ භූමියට තවම පණ තියෙනවා ‘ ගීතයේ ඕඩියෝව මට එවා අභිෂේකා එවෙලේ දුරකතන ඇමතුමක් ගෙන පැවසුවේ ‘කසුන් ඔයා එක්ක නිර්මාණයක් කරන්න මං හරි ආසයි. මේ සිංදුව අහලා ඔයාගෙ අදහස කියන්න’ කියා ය. මා ඇගේ ඇරයුම ඉතසිතින් පිළිගෙන කිහිපවතාවක් ම අදාළ ගීතය රසවිඳ ඇමතුමක් ගෙන ‘හරි අභී කරමු. කොහොමද බජට්’ කියා ඇසීමි. එවිට ඈ තමාගේ ආර්ථික අපහසුකම් පවසා ලක්ෂ දෙක තුනකින් වීඩියෝව කළ හැකිදැයි මගෙන් විමසුවා ය. මා එවිට ඈට කීවේ ‘අපෝ බෑ එහෙමනම් මං ලෝ බජට් වැඩ කරන් නෑ. ඒක නිර්මාණයට හානියක්’ කියා ය. ඈ ‘සල්ලි නෑනෙ කසුන්’ කී විට මා ඈ සනසා කීවේ ‘බලමු මගෙ යාළුවෙක් ඉන්නවා මා එක්ක වැඩක් කරන්න කැමැත්තෙන් මං එයාට කතා කරන්නම්’ කියා ය. එවිට විදේශගතව සිටින මා මිතුරියක වන නිපුනි අමරසිංහට කතා කොට මෙහෙම වැඩක් තියෙනවා ප්‍රඩියුස් කරන්න කැමති ද කියා මම ඇසීමි. මා සම්බන්ධයෙන් පමණක් ම විශ්වාසය තැබූ නිපුනි එකහෙළා මගේ යෝජනාවට කැමති වූවා ය. අපි වැඩ පටන් ගතිමු. මියුසික් වීඩියෝව ගැන අදහස මොකක්ද කියා මා අභිෂේකාගෙන් විමසූ විට ඈ ‘ආ මෙහෙමයි කියා යම් කතාවක්’ මා හා පැවසීය. ඒ කතාව නම් භූමි හරේන්ද්‍රන් නුවරඑළියේ හෝටලයකට විවාහ වී වයසක මිනිසෙකු සමඟ එන බවත්, එම හෝටලයේ රිසිප්ශනිස්ට් හැටියට සිටින අභිෂේකා මෙම ගීය ගයන බවත්, අර පැමිණි මිනිසා වරින්වර භූමිව දූෂණයට ලක් කරන බවත් ඒ වේදනාව අප මියුසික් වීඩියෝවේ පෙන්විය යුතු බවත්’ ය. එය ඇසූ සැණින් මට මඳ සිනහවක් ගිය අතර මා අභිෂේකාට පැවසුවේ ‘ඒක නං හෙන ගොන් සාම්ප්‍රදායිකයි. මේ වැඩේ පත්තු වෙන්න නං වීඩියෝ එකේ ඊට වඩා බරක් තියෙන්න ඕනි. ප්ලොට් එකක් මං හිතන්නම් මට දවස් කිහිපයක් දෙන්න’ කියා ය. ඈ ඊට කැමැත්ත පළ කළා ය. ඉදින් මම දිවා රෑ නැතුව අහස පොළොව ගැටලමින් කතාවක් ගොතන්නට කල්පනා කළෙමි. මහ රෑ මැද නැඟිට සිගරට් උරමින් කතාන්දරයක් බිහි කිරීමට පැය ගණන් දින ගණන් විලිරුදා වින්දෙමි. ඒ ‘දාරක වේදනාව’ දන්නී, ඇස් දෙකෙන් දැක්කී මගේ මාධවී ම පමණි. දින ගණනාවක් සිතා අවසානයේ ඔබ ඔය දකින ‘සම්මානිත’ භූමියට තවම පණ තියෙනවා ගීත වීඩියෝවේ පිටපත මම තනිවම අකුරින් අකුර ලියා , ටයිප් කොට අභිෂේකාට යැවීමි. නිර්මාණ දරුවා බිහි කළෙමි. ඈ හැරෙන තැපෑලෙන් ‘ශා නියමයි’ කියා එවා තිබුණි. අභිෂේකා මේ නිර්මාණය කිරීමට මා සහ මගේ නිෂ්පාදන ආයතනය සොයා ඒමට පෙරාතුව ඔය ඕඩියෝවද ගෙන අපේ සහෝදර තවත් අධ්‍යක්ෂකවරුන් ගාවට ගිය බවක් ඔවුන්ගේ සාමාජිකයන් මට කතා කොට පැවසීය. ‘අපෝ එයා එක්ක වැඩකරන්න බෑ මචං. කියන්නෙ එකක් කරන්නෙ තවත් එකක් ‘ කියා ඔවුන් පැවසීය. නමුත් කිසි අයෙකු සම්බන්ධයෙන් ‘අවසන් නිගමන නොදෙන්නට’ යන මම ඈ සමඟ වැඩ කරන අපහසු අභියෝගය කැමැත්තෙන් ම භාරගතිමි. ‘හොඳ වැඩේ උඹට කියන දේ නෑහුවට’ කියා අද කවුරුන් කීවද ඕනෑම අයෙකුට සමාව දීමට මගේ මවුපියන් පුරුදු කර ඇති බැවින් මම නොතැවෙමි. ඉතිං පිටපත ද රැගෙන වීඩියෝවේ ඉදිරි සැලසුම කතිකා කිරීමට මම ලිබර්ටි ප්ලාසා හි පිහිටි අභිෂේකාගේ රූපලාවණ්‍ය බඩු විකුණන තැනට ගියෙමි. එදා ප්‍රමාද වී හෝ භූමි ද පැමිණි අතර අප අතර හරි ලස්සන සුහද කතාබහක් දියත් විණි. මෙහි ප්‍රධාන නළුවා කවුරුන් විය යුතු ද යන ගැටලුවේදී අභිෂේකා එක් එක් නම් යෝජනා කළත් මං ඒ අයට එතරම් කැමති නොවූයේ භූමිට ගැළපෙන ‘හරිම පිරිමි පෙනුම’ සොයාගතයුතු වූ බැවිනි. අධ්‍යක්ෂකවරයෙක් හැටියට මා කරන නිර්මාණයකදී මා වඩාත්ම වැඩි වැදගත්කමක් දෙන්නේ ‘නළු නිළි වරණය’ (කාස්ටින්) සඳහා ය. ඔළුවට පොල්ලෙන් ගැසූවාක් සේ ‘අශාන් ඩයස්’ අපේ මිත්‍රයා මට එවිට මතක් විණි. ඔහු ගැන කී විට අභිෂේකා එකවර ඇසූවේ ‘මිනිහා එයි ද ? මියුසික් වීඩියෝ වල කලින් දැකල ම නෑනෙ’ කියා ය. එවිට ‘අනේ එයා මගේ ලොකුම ක්‍රෂ් එක අනේ’ කියූ භුමිගේ හිසේ මල් අතු ගෙඩි පිටින් හැලුණි. ‘ කොහොමහරි ගම්මු. මං ස්ක්‍රිප්ට් එකත් එක්ක එයාට කතා කරන්නම්’ කියා මම ඒ අභියෝගය ද භාර ගතිමි. මම ගෙදර’විත් අශාන්ට ඇමතුමක් ගතිමි. අතිශය සුහදව කතා කළ ඔහු ‘පිටපත එවපන්. මං බලලා කතා කරන්නම්’ කීවේය. දිනක් ගතවීමටත් පෙර අශාන් මා ඇමතූ අතර ‘ මචං මේ ස්ක්‍රිප්ට් එක මරු. මං මෙච්චර කාලෙකට මියුසික් වීඩියෝ කරලා නෑ. මං මේක අනිවාර්යයෙන් කරන්න කැමතියි. හැන්දෑවක අපි සැට්වෙමු’ කී ය. ඉදින් අශාන්ගේ පොල්හේන්ගොඩ සුන්දර නවාතැන්පොළේදී අපි දෙදෙනා හමුවීමු. වැස්සක් වැටෙන හැන්දෑවක මධුවිතකින් සප්පායම්ව මේ වීඩියෝවේ පිටපත සිනමාපටයක් සේ සීන් බයි සීන් මම අශාන්ට පැහැදිලි කළෙමි. කතාව අවසානයේ ඔහුගේ ගැඹුරු දෑසේ කඳුළු නළියනු දුටු මට තවත් සතුටක් නොවිණි. ඒවා අභිෂේකා හෝ භූමි දන්නේවත් නැත. මා මීටපෙර කියූවේද නැත. ගීතයේ බ්ලැක් චරිතයට ජනප්‍රිය මුහුණක් නොව අතිශය දක්ෂ තියටර් එකේ වැඩ්ඩෙක් ගත ‍යුතු යැයි මම තීරණය කළ අතර ජූඩ් ක්ලෝඩියස් මම ඒ සඳහා තෝරාගතිමි.

රූගත කිරීම් අතරතුර ‘උඹේ කාස්ටින් මරේ මරු’ කියා මා වැළඳගත් අශාන් , ජූඩ් සම්බන්ධයෙන් අවංකව සතුටු විණි. අභිෂේකා එදා රූගත කිරීම් වෙනුවෙන් පැමිණියේ සවස හයත් පසුවීය. අප රූගත කිරීම් හමාර කරද්දී වේලාව පාන්දර එකට ආසන්න විය. බජට් පැන තිබුණි. ප්‍රඩක්ශන් මල්ලිලා නිරුත්‍තරව සිටිති. අභිෂේකා කණ්ඩායමට හිමි වූ ‘පොදු සම්මානය’ උත්සවය හමාර වීමටත් ප්‍රථම බලෙන් ගෙනගියා සේ එදින ද ඈ වහා පිටවගොස් තිබුණි. අශාන් සහ භූමි ද පිටව ගොස් තිබුණි. රූගත කිරීම සැලසුම් කරන් සිටි වේලාව පැය ගණනකින් පැන තිබූ බැවින් යුනිට් බටා, ලොකේශන් ෆී ආදිය තුන් ගුණයකින් පමණ වැඩි වී තිබුණි. ලක්ෂ තුන හමාරක් පමණ මදි වී තිබුණි. මා මිත්‍ර අපේ කැමරාකරු අසරණව මා අසලට පැමිණ ‘ අභිෂේකට කතා කරපන්. එයාගෙ වැඩේනෙ. යුනිට් එකේ සල්ලි හරියටම ගෙවනකන් උන් මෙතැනින් යන්න බෑ කියනවා’ කී ය. ‘එයාට අරන් වැඩක් නෑ. එයා ආටිස්ට් විතරයි. ප්‍රඩක්ශන් එක මගේ’ කියූ මා දහ අතේ කල්පනා කළෙමි. ඒ මොහොතේ මා සතු සියලු මුදල් ගිණුම් එක්කාසු කළත් ලක්ශයක්වත් ඒවායේ නොතිබුණි. මා ප්‍රාණසම මාධවීවත්, මගේ අක්කා රෝෂිකාවත් ඇමතීමි. ඉල්ලාගෙන කරදර ඔළුවේ වක්කරගෙන මා මැරෙන්න යන විට මට මුලින් ම මතක් වෙන්නේ ඔන්නොය දෙන්නා ය. අනේ ඒ දෙදෙනා මට කිසිදු බැනුමක් නොකියා ඒ රාත්‍රියේ ම පැයක් දෙකක් ඇතුළත මුදල් අවශ්‍යතාවය ඉටු කෙරීය. අක්කා සතුව තිබූ මුදල් රැගෙන ඒමට තකහනියක් ඒ මොහොතේදී මාධවී දුර ගෙවා පිටව ගොස් තිබුණි. ඒ රාත්‍රියේ මා මුහුණ පෑ ආත්මීය අසරණකම අභිෂේකාවත්, භූමිවත්, අශාන්වත් බිඳක් හෝ දන්නේ නැත. මෙතුවක් කලක් මා ඔවුන්ටවත් ලෝකයටවත් එය කීවේ නැත. එය දන්නී මාධවී ම පමණි. ඈ ට රිදෙන්නේ ඈ මා වෙනුවෙන් මේ නිර්මාණය වෙනුවෙන් පෙනී ඉන්නේ ඒක ය. කැළැල් දැක හිනැහෙන්නෝ තුවාල නොලද්දෝ ය.

දැන් භූමිගේ වදන් අයිසින් තැවරූ කක්කාමය බේගල් වෙනුවට අමු යතාර්ථය දැනගමු. ‘මියුසික් වීඩියෝ’ සම්මාන රාත්‍රියේ දී ‘භූමියට තවම පණ තියෙනවා’ වෙනුවෙන් විශේෂ ජූරි සම්මානයක් හිමිවුණි. නිවේදකයා අභිෂේකාගේත්, මගේත්, අශාන්ගේ සහ භූමිගේත් නම් කියා පැවසුවේ ‘මෙම සම්මානය’ හිමිවන්නේ ‘කණ්ඩායමට ම ‘ කියා ය. (වීඩියෝ සාක්ෂි සහිතයි) ජූරිය නිවේදනය කළ ආකාරයට එම විශේෂ සම්මානය සඳහා හේතු පාඨය මෙසේ ය.

විෂම ලිංගික ආදරය වගේම සම්මත යැයි තහවුරු කෙරුණු අධිපති කතිකාවක් අභියෝගයට ලක් කරන සංකල්පයක් පරිකල්පනය වෙනුවෙන් හා එකී අභියෝගය යථාර්ථයක් කිරීමට කැපවීම වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය හිමි වන්නේ…..”

ඔළුවක් පමණක් නොව මොළයක් හිමි ඕනෑම අයෙකුට එහි සත්‍යය පැහැදිලිය. මේ සම්මානය කණ්ඩායමට ලැබුණේ මේ ගීතයේ ගායනයටවත්, පද මාලාවටත් නොවේ. මෙහි වීඩියෝ සංකල්පය සහ එම පරිකල්පනය තනිකරම මගේ ය. ඒ වෙනුවෙන් කැපවුණේ මගේ කණ්ඩායමයි.

භූමි සිය සටහනේ තව දුරටත් පවසන්නේ ඇයට 2017 දී විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ ‘සයපෙති කුසුම’ චිත්‍රපටය වෙනුවෙන් ලැබුණු සම්මානය ගනිද්දී ඈට විසාවත්, දස්සාවත්, ජෙහාන්වත් මතක් කිරීමට අමතකව ගිය බවයි. එය ඇයට පමණක් ලැබුණු සම්මානයක් බැවින් එසේ අමතකව යාම මිස්ටේක් විය හැකිය. එය මේ මොහොතට සමාන කිරීම භූමිගේ අවංක අනවබෝධීභාවයයි. මෙම මියුසික් වීඩියෝ සම්මානය අභිෂේකාට තනිව ලැබුණු එකක් නොවන බව දැන් ලෝකයා ම දනී. අභිෂේකාට ජීවිතයේ ලැබුණු මුල්ම සම්මානය බැවින් ඈ එක්සයිට් වූ බවත්, එය ඉමෝෂනල් දෙයක් බවත් භූමි කියයි. දෙරණ මෙම සම්මාන රාත්‍රියේ දී මෙම ගීතයට අනිවාර්යයෙන් සම්මානයක් ලැබෙන බවත් එය ආරංචි වූ බවත් අභිෂේකා මට ඇමතුමක් දී කියද්දී මා සිටියේ තවත් රූගත කිරීමකයි. මගේ වෙලාවට එදින තවම පණ තියෙනවා ගීතයේ කැමරාකරු අප සහෝදර ශ්‍රීනික ද , මේකප් ආටිස්ට් තරිඳු පතිරත්න ද මා අසල හුන් බැවින් එම ඇමතුම ගැන ඔවුන් ද දනී.

ඉදින් පූර්වයේ සම්මානයක් හිමිවන බව දැනගෙන අභිෂේකා කලින් කතාවක් සූදානම්ව නොපැමිණියා යැයි කියන , ඈ කලබල වූවා යැයි කියන ‘සිඟිති බොරුව’ පිළිගැනුමට තරම් මා දන්නා තරමින් අපි මෝඩයන් නොවෙමු.

තවද භූමි පවසන්නේ මෙම ගැටලුව සමාජ මාධ්‍යයන්ගේ කතා කිරීම හරි මදි බවයි. මෙවැනි සහගහන වරදකට නීතිමය ක්‍රියාමාර්ග නොගෙන එසේ කළේ මා සතු මනුස්සකමටයි. එය එසේ ප්‍රසිද්ධියට පත් කිරීමට මා තුළ මුලින් ම කැමැත්තක් නොතිබුණත් අභිෂේකා මෙම සම්මානය ඇයට පමණක් ලැබුණක් බව තැන තැන කියමින් ගොස් තිබුණි. ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ ද මෙය ඇයට පමණක් ලැබුණක් හැටියට වරනඟා තිබුණි. මාධවී මට පුන පුනා කීවේ ඕවා ලෝකයට නොකියන ලෙසයි. නමුත් බොරුව සහ අසාධාරණය දුටු තැන කතා කිරීම, අරගල කිරීම මා සතු ගුණයයි. හරියටම භූමි තම සංක්‍රාන්ති ලිංගික අයිතිය වෙනුවෙන් අරගල කරන්නාක් මෙනි. භූමි දේශපාලනිකව නොදන්නවා වුණාට මේවා ද ‘මානව අයිතීන් (හියුමන් රයිට්ස්) කඩ කිරීම් ‘ ය. ඒවාට කොන්ද නැවීමට තරම් අපි නිවටුන් නොවෙමු යැයි මම මාධවීටත්, මේ නිර්මාණ මහන්සිය පිටුපස සිටින මගේ කණ්ඩායමටත් පැවසීමි.

භූමි අවසාන වශයෙන් කියන්නේ ට්‍රාන්ස් ගෑනියෙක් හැටියට ඈ ට එම ‘බේගල් සටහන’ ලියන්නට සිතුණු බවයි. මගේ සංකල්පය හා අධ්‍යක්ෂණය අනුව සිදුවුණු භූමියට තවම පණ තියෙනවා වීඩියෝවේදී ඇගේ ට්‍රාන්ස් භාවය මම කිසිදු ආකාරයකින් මාකට් නොකෙරූ අතර මටත් මගේ කණ්ඩායමටත් වුවමනා වූයේ භූමි යනු ‘අංග සම්පූර්ණ ස්ත්‍රීත්වයක් හිමි ගැහැනියක්’ හැටියට පෙන්වාලීමයි. අප එම අසීරු කාර්‍යය නිර්මාණාත්මකව සිදු කළ අතර දැන් පෙනෙන්නේ එහි රඟපෑවාට එම ‘දේශපාලනික සමාජයීය අවබෝධය’ භූමි හරේන්ද්‍රන්ට තවමත් නැති බවයි.

කෙසේ වෙතත් මේ ඇත්ත ප්‍රේක්ෂකාගාරයට ලියන්නට සිදු වූයේ අයිසින් තැවරූ සංවේදී බේගල් වලට වඩා ඇත්ත තිත්ත බව පෙන්වාදීම සඳහායි. පරණ ඇරියස් කවර් කිරීමට, ලිංගික කුහකකම් ඉස්මතු කිරීමට මගේ පෙම්වතියටත් මටත් අහේතුකව ගල් ගසන ‘එකදු පවක් හෝ කර නැති පරම පිවිතුරු මිනිසුන් ගැහැනුන් සංක්‍රාන්ති ලිංගිකයන්’ ගැන අපට කිසිදු තරහක් හෝ දුකක් නැත. අභිෂේකා ගැන පමණක් අතිශය කලකිරීමක් සහ මගේ නිර්මාණ දරුවාට කළ ‘නැවත නිවැරදි කළ නොහැකි අසාධාරණය’ ගැන වේදනාවක් ඇත. මේ සියල්ලට කාලය විසින් සහ විශ්වීය ධර්මතාවය විසින් යුක්තිගරුක පිළිතුරු ලබා දෙනු ඇත.

ස්තූතියි.

( පහතින් ඇත්තේ භූමියට තවම පණ තියෙනවා ගීත වීඩියෝව වෙනුවෙන් මාත් මාධවීත් එක්කාසු වී චිත්‍රණය කළ ස්ටෝරි බෝඩ් කතාවයි) නිර්මාණයේ නොසිටියත් තවත් ගැහැනියකට එම නිර්මාණ දරුවා වෙනුවෙන් මව්කිරි දිය හැකි බව පෙන්වාදීමට මේ තරම් හොඳ තවත් සාක්ෂි අවැසි නැත !!

කසුන් මහේන්ද්‍ර හීනටිගල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: