hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 22, ප.ව. 1:19



හදිසි අනතුරකින් ජීවිත්කෂයට පත් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්‍ය ලක්මිණී චූලෝත්තමා බෝගමුවගේ අවසන් කටයුතු ඊයේ (21) සිදු කරන්නට යෙදිණි.

වචනයේ පරිසමාප්ත අරුතින්ම ලක්මවට මැණිකක් වූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ සහාය කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළා.

කැලණිය සරසවියේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දියණිය වන ඇය අඩු වයසින්ම අධ්‍යාපන කඩඉම් ජයගත් තරුණියක්.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධි පාඨමාලාවේ 2022 වසරේ දක්ෂතම ශිෂ්‍යාව මෙන්ම වැඩිම ලකුණු ලැබූ සිසුවිය බවට ද ඇය පත්වන්නේ, පොතපත පමණක් නොව නැටුම් ගැයුම් ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වලටත් දක්ෂ සහ දීප්තිමත් සිසුවියක ලෙස සරසවිට කීර්තියක් අත්කර දෙමිනි.

ඉහළ සමත්කම් නිසාම 2023 වසරේ දී ඇය සිය සරසවිය වූ කොළඹ විශ්වවිද්‍යාලයේම ජාත්‍යන්තර සබඳතා අංශයේ සහාය කථිකාචාර්යවරියක ලෙස සිය වෘත්තිය දිවිය ආරම්භ කළා.

එමෙන්ම මේ රුවැත්තිය දහම් අධ්‍යාපනයට දැක්වූ ඇල්ම නිසාම දහම්පාසල් ආචාර්යවරියක ලෙසත් කටයුතු කළා.

නිරතුරු මුහුණේ සුන්දර සිනහවක් තබාගත් ඇය, පසුගිය 16 වැනි දාත් සරසවිය බලා නිවසින් පිට වන්නේ, තමා එන තුරු බලා සිටින සරසවි දරුවන්ගේ දෙනෙත් පාදන්නටයි.

නමුත් ඇයට සිය ගමනාන්තය දක්වා යන්නට නොලැබිණි.

ලොරි රථයක් බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධියේ දී ඇය ව අනතුරට ලක්කර තිබුණේ, නොසිතූ ලෙසිනි.

කඩිනමින් ඇය ඒ අසල පෞද්ගලික රෝහලකටත් ඉන් පසු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩිසත්කාර ඒකකයටත් ඇතුළත් කෙරුණ ද සැමගේ බලාපොරොත්තු සුන් කරමින් පසුගිය 18 වැනි දා ඇය අවසන් සුසුම් හෙළුවා.

ඒ, අනතුරින් ඇගේ හිසට සිදු ව තිබූ බරපතළ හානි හේතුවෙනි.

වාත්තීයෙන් මාධ්‍යවේදීයෙක් වන ලක්මිණිගේ පෙම්වතා ලක්මිණි ගැන මතක අවදි කර තිබුණේ මෙසේ යි.

‘අපි දෙන්න දැන අඳුනගත්තේ තලතුගොඩ දහම් පාසලේ දී. ආරම්භය දීර්ඝ එකක් දිනේ කියන්න බැරි තරම්. ඇය විවිධ දක්ෂතා තිබුණු කෙනෙක්. ඇගේ මේ නැති වූ ආදරය මම කෙසේ ලබන්නද? මේ අම්මටයි තාත්තාටයි එකම දියණිය නැතිවුණා. මට මගේ දයාබරිය නැතිවුණා. අපි වෙඩින් එකට හැමදේම ප්ලෑන් කරලා තිබුණේ… මේ අවුරුද්දේ මැද වගේ වෙඩින් එක ගන්න හිටියේ. එයා කොහේ හිටියත් මගේ දිහා ආදරෙන් බලන් ඉන්නවා ඇති. ඒ ආදරය හැමදාම මගේ හදවතේ තියෙනවා ඇති…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: