hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 මැයි 04, පෙ.ව. 12:19



දරුවන් හත්දෙනකු සිටියත් ඔවුන් තමන්ට සලකන්නේ නැතැයි පවසමින් වයස අවුරුදු 95ක් වූ වයෝවෘද්ධ පියකු හා වයස අවුරුදු 86ක් වූ මවක් තලාතුඔය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

වයෝවෘද්ධ පියා සහ මව ප්‍රකාශ කර ඇත්තේ තම පුත්‍රයා විසින් ඔවුන් දෙදෙනා  නිවසෙන් එළවා දමන බවත් තමන්ට සැලකීම සඳහා ඔවුන්ට වත්කමක් නැතැයි ප්‍රකාශ කරන බවත්ය.

වයස අවුරුදු 95ක් වූ වයෝවෘද්ධ  තැනැත්තා පොලිසිය වෙතට දෑතින් ඔසවා ගෙනවිත් ඇත්තේ මුනුපුරකු විසින්.

ඒ අනුව පොලිසිය විසින් මෙකී දරුවන් හත් දෙනා පොලිසියට කැඳවා ඇති අතර ඔවුන් කියා ඇත්තේ තමන් කිසිවකුටත් තනිව පියාට සහ මවට සැලකීමට තරම් වත්කමක් නැති බවයි.

මෙහිදී මවුපිය දෙදෙනා කියා ඇත්තේ තමන් හැදූ නිවෙසේ තමන් සිටි කාමරයේ ඉදිරියටත් ජීවත් වීමට ඉඩ ලබාදෙන ලෙසයි.  

නිවෙසේ ඉඩකඩ මදි හෙයින් පිටස්තර කාමරයක් හදා ඔවුන් දෙදෙනාට ලබාදීමට එක් පුතෙක් යෝජනා කර ඇති අතර තවත් පුතකු මවුපියන් මහලු නිවාසයකට ගෙනයෑමට යෝජනා කර තිබෙනවා.

මෙතෙක් ඔවුන් ජීවත් වූ නිවෙසේ සිටින පුත්‍රයා පොලිසියට පවසා ඇත්තේ නිවෙසේ බිම පැදුරු දමා නිදාගැනීමට ඉඩකඩ ලබාදිය හැකි බවයි. 

එහිදී මුනුපුරා කියා ඇත්තේ තමා සීයා හා ආච්චි වෙනුවෙන් ඇඳක් හා මෙට්ටයක් ගෙනැවිත් දෙන බවයි.

පොලිසියේ කැඳවීමට එක් පුතකු පැමිණ ඇත්තේ නීතිඥවරයකුද සමඟ වන අතර නීතිඥවරයාට ඔහු පවසා ඇත්තේ ඉඩම් ආරවුලක් සඳහා පොලිසිය තමන් කැඳවා ඇතැයි  යනුවෙන්.

මවුපියන්ට නොසැලකීමක් ගැන පැමිණිල්ලක් සම්බන්ධයෙන් බව තමන්ට නොකී බවත් එසේ නම් තමා පොලිසියට පැමිණෙන්නේ නැතැයිද පවසමින් නීතිඥවරයා යන්නට ගොස් තිබෙනවා.

මෙකී දරුවන් හත්දෙනා වයස අවුරුදු 62 සහ 56 අතර තැනැත්තන් වන අතර මවුපියන් වෙසෙන ගුරුදෙණිය, කැඳවලමඩිත්ත ප්‍රදේශයම ආසන්නයේ පදිංචිකරුවන් වෙනවා.

පොලිසියේ දැඩි අවවාද මත  ඒ ඒ දරුවන්ට වගකීම් පවරා දුන්  ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳව තමන් පෞද්ගලිකවම සොයා බලන බවත් අකටයුත්තක් සිදුකළහොත් නීති මාර්ගයෙන් දැඩි දඬුවම් ලබාදෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

පොලිසියේ නිලධාරීන්ගේ හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි මහජනයාගේ දෑස් කදුළින් තෙත්ව ගියද පුතාලා පහක් හා දුවරු දෙදෙනෙක් හට මවුපිය ගුණ හා සැලකීමේ වැදගත්කම පහදා දීමට විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.ජී. සෙනෙවිරත්නට පැය හතරක පමණ කාලයක් ගතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: