hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 03, ප.ව. 6:16



මේ දවස්වල ප්‍රසන්න රණවීර ඇමතිතුමාට හතර වටින් පහර දෙනවා.

ඒ උපාධි ප්‍රධානෝත්සවයක උපාධි ලෝගුවක් ඇඳීම සම්බන්ධයෙනුයි.

හැබැයි මුහුණුපොතේ නම් දිගින් දිගටම එල්ල වුණේ චෝදනාම විතරයි.

ගොඩක් දෙනෙක් ඇහුවේ ඔහු ඒ ලෝගුව ඇඳීමට සුදුසුද කියලයි.

හැබැයි ඊට ටිකක් වෙනස් මතයක් නාමල් උඩලමත්ත සමාජ මාධ්‍ය වෙත එකතු කර තිබෙනවා.

එම සම්පුර්ණ සටහන පහතින්,

ගෝඨාභය ජනාධිපති වෙලා බතික් ඇමැතිකම දුන්නේ දයාසිරි ජයසේකරට. එයා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරියෙක්. ශිෂ්‍ය සංගම් නායකයෙක්. නීතීඥවරයෙක්.

ගෝඨා මැටි ඇමැතිකම දුන්නේ ප්‍රසන්න රණවීරට. මිනිහාට උපාධි නෑ. යන්තම් උසස් පෙළ පාස්. එතෙක් මැරයෙක් වලිකාරයෙක් විදිහට හඳුනගෙන හිටි මිනිහෙක්.

හැබැයි මේ උපාධිධාරී බතික් ඇමැතියි, නිකන්ම නිකන් මැටි ඇමැතියි අතර වෙනස එයාලා ඇමැතිකමේ ඉඳගෙන කළ වැඩ අනුව බැලුවොත් ප්‍රසන්න රණවීර ඉන්නේ දයාසිරිට වඩා ගව් ගාණක් ඉදිරියෙන්. අවශ්‍ය අයෙකුට දෙන්නා කළ වැඩ සසඳලා බලන්න පුළුවන්.

ප්‍රසන්න රණවීර එදා සමාජය මිනිහට මැටි ඇමැති කියලා හිනාවෙද්දි ඇමැතිකමේ වගකීම ඉතාම ඉහළින් කළා. මුලින්ම මාසිකව රු. ලක්ෂ 60ක් ගෙවමින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වා ගෙන ගිය සිය අමාත්‍යංශය බත්තරමුල්ල අපේ ගමට අරන් ගියා.

ඇමැතිකමෙන් රටට කිසිම වැඩක් කළේ නෑ කියලා හිතුවත් මිනිහා මේ වැඩෙන් විතරක් රටෙි මහජන බදු මුදල් ලක්ෂ 720ක් රටට ඉතිරි කරලා දෙනවා.

දේශීය මැටි කර්මාන්තය නඟා සිටුවීම උදෙසා ගතයුතු පියවර ගැන ජ’පුර මහාචාර්ය මයුර සමරකෝන් ⁣තැබූ ෆේස්බුක් සටහනක් දැකලා වහාම ඔහු අමතා සාකච්ඡා කරන්න මේ මැටි ඇමැති නිහතමානි වුණා.

ඊට පස්සේ ඔහු දිගටම ග්‍රාමීය කර්මාන්ත, ස්වයං රැකියා ප්‍රවර්ධනයට වැඩ කළා. අනතුරුව රනිල් ජනාධිපති වුණාම ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ඔහුට ලැබෙනවා.

එතන දී ඔහු සුළු පරිමාණ ව්‍යවසායකින් සඳහා 2% පොළියට ණය ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. මෙමගින් නව ව්‍යවසායක පරපුරක් ගොඩනගන්න ජවයක් ලැබෙනවා.

මේ අතර උපාධිධාරී උගත් දයාසිරි එයාගේ බතික් ඇමැතිකම ගැන කැබිනට් ඇමැතිකමක් නොලැබුණු එක ගැන හීනමානයෙන් සහ තරහින් හිටියේ. ඔහු ඒක වහගන්න බතික් ඇඳුම් අඳින එක වගේ දෙවල් නම් කළා.

ඒ නිසා අපි ලබා ගත් උපාධි නිසා අපි මහ අමුතු උසස් ජීවීන් කොටසක් උපාධි නැති අය පහත් කියලා හිතන තැනට වැටෙන්න එපා. මිනිහෙකුට ඉගෙන ගන්න තියෙන එකම ක්‍රමය කිසියම් විෂය කිහිපයක් කට පාඩම් කරවා විභාග මගින් එම දැනුම පිරිස්සා ලබා දෙන උපාධියම නෙමෙයි. මහ පොළොවේ වැඩ කරල ඊට වඩා දැනුම ලබන්න පුළුවන්.

මේ උපාධි ලෝගුව දැම්ම බොහෝ දෙනා රාජ්‍ය සේවයට එකතු වෙලා රටට බරක් වෙනවා. බොහෝ විට ව්‍යාපාර ගොඩනගමින් පෞද්ගලික අංශයේ රැකියාවල යෙදෙමින් රටක ආර්ථික දැති රෝදය කරකවන්නේ ප්‍රසන්න රණවීරලගේ මට්ටමේ මිනිස්සු මිස උපාධි ලෝගුකාරයෝ නෙමෙයි. ප්‍රසන්න රණවීරට හිනාවෙන රජයේ රැකියා කරන උපාධිකාරයෝ පඩි ගන්නේ මේ ව්‍යවසායකයින්ගේ අය කරන බදු මුදලින් බව එයාලා දන්නේ නෑ.

මමත් මගේ උපාධි ලබා ගන්න අවස්ථා දෙකක මේ ලෝගුව ඇන්දා. මහජන බදු මුදලින් උගනින මේ රටේ සෑම උපාධිධාරියෙක්ම අවම වශයෙන් උපාධි මට්ටමට නූගත් පස් දෙනෙකුටවත් රැකියා ලබා දෙන්න පුළුවන් නව කර්මාන්තවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි කියලා මම හිතනවා.

උපාධිධාරියෙක් කැපී පේන්න ඕන එහෙම මිස ලෝගු බදා ගෙන නෙමෙයි. අදටත් මේ රටේ බහුතර රැකියා හදලා තියෙන්නේ නූගත් ප්‍රසන්න රණවීරලගේ මට්ටමේ මිනිස්සු. බොහෝ විට උපාධිධාරීන් ඔවුන් යටතේ වැඩ කරනවා. ඩඩ්ලි සිරිසේන එක උදාහරණයක් විතරයි.

නාමල් උඩලමත්ත





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: