hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 05, පෙ.ව. 12:02



ප්‍රකට ගායන ශිල්පියෙකු හා කාලයක් රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මේ වනවිට අසනීප තත්වයෙන් යුතුව විවේක සුවයෙන් කල් ගෙවයි.

මීට වසර 04 කට පමණ පෙර 2020 දී ඔහු වකුගඩු සැත්කමකට ලක්වූ අතර ඒ දිනවල ඔහුට වකුගඩුවක් ලබාගැනීම පිණිස මාධ්‍ය දැනුම්දීම්ද පළ කෙරිණි.

ඔහුගේ සුවය වෙනුවෙන් කලාකරුවන් එකමුතු විය.

ප්‍රියංකර පෙරේරා යනු නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ පුත්‍රයෙකි.

ප්‍රවීණ සිනමා නිළි දිල්හානි අශෝකමාලා ඔහුගේ බිරියයි.

ප්‍රියංකරගේ පුතු ඩිල්මින්ද ගායන ක්ෂෙත්‍රයට පිවිස තිබෙනවා.

ප්‍රියංකර පෙරේරාගේ රෝග තත්වයන් ඉස්මතුවීම සමග මේ වනවිට ඔහුගේ වම් පාදය ඉවත් කර තිබෙන අතර මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඔහුගේ වත්මන් ස්වරූපය පෙන්නුම් කරන ඡායාරූපයක් හුවමාරු වෙමින් පවතී.

ප්‍රියංකරගේ ලෙඩ බලන්නට ගිය හිතවතෙකු ලබාගත් ඡායාරූපයක් ලෙස සැලකිය හැකි මුත් මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කිරීම ඔහුගේ පුද්ගලිකත්වයට හානිකර බවට විවේචන පළව තිබෙනවා.

පසුගිය දිනෙක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රියංකර කියා තිබුණේ මේ පැතිර යන බොහෝ කතාන්දර සාවද්‍ය බවයි.

‘කවුරු හරි ඒ ඡායාරූපය අරන් ශෙයා කරලා තිබුණා. අමරිකාවේ ඉඳන් ආපු මගේ යාලුවෙක් තමයි එක මුලින්ම අරගත්තෙ. මට නම් ඒක ගාණක් නෑ ඉතින්. හැබැයි කට්ටිය බොරු දාලා තිබ්බා ගොඩක්. පුතයි නෝනයි දෙන්නම මගේ ළඟ ඉන්නෙ. මිනිස්සුන්ට ඉතින් මොනාද කියන්න බැරි. මට කිසි අවශ්‍යතාවයක් නෑ…’

‘මිනිස්සු හිතයි මම මේ ආධාර උපකාර බලාපොරොත්තුවෙන් මේ දේ කරලා කියලා. මම කිසි දෙයක් කාගෙන්වත් ඉල්ලන් නෑ. මම කලිනුත් අසනීප වුණානේ. වකුගඩු බයිපාස් එකක් කළා. ඒ වෙලාවෙත් මම ආධාර ඉල්ලුවේ නෑනේ ඉතින්… මට මගේ පවුල, දිල්හානි හැමෝම මාත් එක්ක ඉන්නවා!’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: