hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 10, පෙ.ව. 12:02



ප්‍රකට ගායන ශිල්පියෙකු හා කාලයක් රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මේ වනවිට අසනීප තත්වයෙන් යුතුව විවේක සුවයෙන් කල් ගෙවයි.

මීට වසර 04 කට පමණ පෙර 2020 දී ඔහු වකුගඩු සැත්කමකට ලක්වූ අතර ඒ දිනවල ඔහුට වකුගඩුවක් ලබාගැනීම පිණිස මාධ්‍ය දැනුම්දීම්ද පළ කෙරිණි.

ඔහුගේ සුවය වෙනුවෙන් කලාකරුවන් එකමුතු විය.

ප්‍රියංකර පෙරේරා යනු නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ පුත්‍රයෙකි.

ප්‍රවීණ සිනමා නිළි දිල්හානි අශෝකමාලා ඔහුගේ බිරියයි.

ප්‍රියංකරගේ පුතු ඩිල්මින්ද ගායන ක්ෂෙත්‍රයට පිවිස තිබෙනවා.

ප්‍රියංකර පෙරේරාගේ රෝග තත්වයන් ඉස්මතුවීම සමග මේ වනවිට ඔහුගේ වම් පාදය ඉවත් කර තිබෙන අතර මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඔහුගේ වත්මන් ස්වරූපය පෙන්නුම් කරන ඡායාරූපයක් හුවමාරු වෙමින් පවතී.

ප්‍රියංකරගේ ලෙඩ බලන්නට ගිය හිතවතෙකු ලබාගත් ඡායාරූපයක් ලෙස සැලකිය හැකි මුත් මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කිරීම ඔහුගේ පුද්ගලිකත්වයට හානිකර බවට විවේචන පළව තිබෙනවා.

පසුගිය දවසක ඇතිවුණ මේ අසනීප තත්වයත් එක්කම මෙදා සැරේ ඔහුගේ උපන්දිනය දවසේ ඔහුට නීරෝගී සුව පතපු බොහෝ දෙනෙක් හිටියා.

කලාකරුවන්ගේ උපන්දින විතරක්ම නෙවෙයි ඔවුන්ගේ ජීවිතවල සුවිශේෂී දවස් ගැන ආදරණීය සටහන් එක්කාසු කරන සොඳුරු චරිතයකි, දයාන් විතාරණයන්.

ඔහු අතින් ලියවෙන සටහන් කවදත්, ඡායාරූප ගොන්නකින් ද පිරී තිබුණා.

විශේෂම කාරණය නම් ප්‍රියංකර පෙරේරාගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් ඔහුගේ සටහනේ ලියවී තිබීමයි.

”….ඔහු කලක පටන් අසනීප තත්වයෙන් පසුවන අතර මේ දිනවල පවා ඔහු සුව ලබමින් විවේකීව පසුවේ. ”

සම්පූර්ණ සටහන පහතින්

”නීරෝගි බව අංක එකෙහිලා දිනෙන් දින වැඩෙනා ආරෝග්‍යයමත් බවින් පිරිපුන් උපන්දිනකට දිනක් පමාවූ සුබාසිරි ආදරණීය සොයුරා, පිනකල්ට ……………………….

ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පී සහ ගායක ප්‍රියංකර පෙරේරා ඊයේ දින සිය උපන්දිනය සැමරුවේය.

මට වඩා දින එකොළහක් පමණක් වැඩිමහල් වන ප්‍රියංකර නැසීගිය අසහාය ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ වැඩිමහල් පුතණුවන් ය.

ජනකාන්ත සිනමා නිලියක වන දිල්හානි අශෝකමාලාගේ ප්‍රියාදර සැමියා වන ප්‍රියංකරගේ පුතු පසිඳු ඩිල්මින් ද අද වන විට සිය රංගන හා ගායන දක්ෂතා මැනවින් විදහා පෑම සතුටට කරුණකි.

“අරලිය මල්” චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වන ඔහු “සත්‍යග්‍රහණය”, “ගෙදර බුදුන් අම්මා”, “ජනේලය”, “උමයංගනා” ආදී චිත්‍රපට රැසක චරිත මැවූවේය.

මා වසර 27 ක පමණ සිට ඉතාම සුහදව ඇසුරු කරන ප්‍රියංකර මුහුණුපොත තුළ ද ක්‍රියාකාරී සාමාජිකයෙකි. තම පියාගේ මෙන්ම තමන්ගේම ගී ගොන්නක් ද සමගින් නිබඳව රූපවාහිනියේ සහ ප්‍රසංග වේදිකාවේ ගීතවත් වන ඔහු කවුරුන් සමග වුව ද ඉතා හිතෛෂී මිතුරෙකි.

ඉකුත් 2019 වසරේ ඔහුගේ උපන්දිනය යෙදුණු අද වැනිම දිනයක ඔහු තරමක් රෝගාතුරව සිටි නමුත් ඔහු ජයන්ත රත්නායක වෙනුවෙන් පැවැත්වුණු ප්‍රසංගයේ ගී ගැයීමට කොළඹ ඩී. එස්. සේනානායක විදුහල් ශ්‍රවණාගාරයට පැමිණියේ තම මිතුරා වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීමට ය.

හිත හොඳ නිහතමානී කලාකරුවෙක් වන ප්‍රියංකරට තම පියාට මෙන්ම තමාගේම රසික පර්ෂදයක් ඇත. මම ද ඔහු බොහෝ අවස්ථාවන්හි ඡායාරූපගත කර ඇත්තෙමි.

ඉකුත් කාලයේ කලකට පසු “බන්ධනා” නම් ටෙලිනාට්‍යයේ ද රංගනය කළ ඔහු කලක පටන් අසනීප තත්වයෙන් පසුවන අතර මේ දිනවල පවා ඔහු සුව ලබමින් විවේකීව පසුවේ.

සමාජ මාධ්‍යය ඔස්සේ ඔහුගේ රෝගී ඡායාරූප සංසරණය වුවද එදා අප දුටු සොඳුරු සිනහවෙන්ම මුව පුරවාගත් පින්කල් නුදුරේදී ම පූර්ණ සුව ලබා යළිත් ගීතවත් වනු දැක්මට අපි සැම එක සේ බලාපොරොත්තු වන්නෙමු.

එනිසා ම ඔහුට අපි එකාමෙන් කඩිනම් සුව සෙතම පතන්නෙමු.

තෙරුවන් සරණින් සුවිශේෂයෙන්ම නිරෝගී බව පරම ලාභයක්ව ලැබ තව බොහෝ කාලයක් රංගන ගායන කලා මාධ්‍යයන්හි නිරත වෙන්නට ශක්තිය ලැබේවායි පිනකල්ට සුභාශිංසනය කරමි !!!’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: