hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 1:14



ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි ජීවිතක්ෂයට පත් වූ අතර මිය යන විට ඔහු 85වන වියේ පසු වුණා.

ශ්‍රී ලාංකේය සිනමාවේ දුෂ්ටයාගේ චරිතය රඟ දැක්වීමෙන් වැඩි වශයෙන් ජනාදරයට පත් වූ ඔහු කෘතහස්ත රංගන ශිල්පියෙක්.

රංගන ශිල්පියෙකු සේ ම ඔහු නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස ද වසර ගණනාවක් කටයුතු කළ අතර චිත්‍රපට නිෂ්පාදනයෙන් ද මෙරට සිනමාව නගා සිටුවීමට දායක වුණා.

ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට අතර අහස් මාලිගා, බයිසිකලේ චිත්‍රපට වඩාත් ජනාදරයට පාත්‍ර වුණා.

රක්තා, මුවන්පැළැස්ස 1, 2, 3, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ ඔහු රඟ පෑ ජනප්‍රිය චිත්‍රපට ලෙස හඳුන්වා දිය හැකි.

චිත්‍රපට එකසිය පනහකට අධික ගණනක රංගනයේ නිරත වී ඇති ඔහු පුංචි තිරයේද ජනප්‍රිය රංගන ශිල්පියෙකු වුණා.

ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට රංගන ශිල්පීන්ට අවස්ථාව නොදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ රාවයක් පැතිරුණා.

එම කටකතාව සත්‍ය නොවන බ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඔහු අසනීපව සිටි අවසාන කාලයේ කලාකරුවන් ඔහු ගැන නොබැලු නිසා ඥාතීන් ඔවුන්ට දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉඩනොදෙන බවට කටකතා පැතිරී තිබුණද බවද ඔහු කියා සිටියා.

ඔහුගේ මරණය සිදු වූයේ අසනීප තත්ත්වයක් හේතුවෙන් නොවන බවත් එම මරණය හදිසි මරණයක් බවත් ඔහු පවසයි.

මෙසේ පැතිරී යන කටකතා සම්බන්ධයෙන් තමා ඇතුළු පවුලේ ඥාතීන් කිසිවෙක් නොදන්නා බව රෙක්ස් කොඩිප්පිලි මහතාගේ දියණියද සඳහන් කරයි.

එමෙන්ම තම පවුලේ ඥාතීන් කිසිවෙක් කලාකරුවන්ට එසේ පවසා නොමැති බවත් සිය පියාණන් මිය ගියේ අසනීප තත්ත්වයකින් නොව නින්දේදීම බවත් ඇය සඳහන් කරයි.

එසේම රෙක්ස් කොඩිප්පිලි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සියලුදෙනාටම තමා ආරාධනා කරන බවද ඇය වැඩිදුරටත් පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: