hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 28, පෙ.ව. 12:01



ඉකුත් 24 වැනිදා අලුයම හදිසි අනතුරකින් ජීවිත ගමනට සමුදුන් පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාට ද කලකට පෙර සිය මරණය ගැන එවැනි අනාවැකි කිහිපයක්ම අසන්නට ලැබී තිබෙනවා.

ඒ අතරින් ඉතා මෑතකදී මාදම්පෙ ප්‍රදේශයේ ජ්‍යෝතිෂවේදියකු ඇමැතිවරයාට කියා ඇත්තේ 2024 වසරේදී අනතුරකින් ඔහුගේ ජීවිතය නැතිවිය හැකි බවත් 2024 වසර පසුකර ගතහොත් ඔහුට රජ විය හැකි තරම් වාසනාවක්, බලයක් සහිත ග්‍රහයෝගයක් ෙක්න්දරේ තිබෙන බවයි.

මේ කතාව මීට දින කිහිපයකට පෙරදී රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත හලාවත ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීම් කිහිපයකදීම පවසා ඇත්තේ සිනාසෙමින්.

ඊට හේතුව ඔහුට ජ්‍යෙතිෂ්‍ය ගැන සුවිසල් විශ්වාසයක් නොවීමය.

හැරත් සිය දේශපාලන ගමන තුළ ඔහු කිහිප වරක්ම මරණ මංචකය හමුවට ගොස් තිබූ අතර මරණ තර්ජන, මැර ප්‍රහාර ආදී අභියෝග රැසකට ද මුහුණ දී තිබූණි.

ඔහු කවදත් සිය ආයෝමය ශක්තිය ලෙස විශ්වාස කළේ සිය ආත්ම ශක්තිය බව ඇමැතිවරයාගේ සමීපතමයෝ පවසනවා.

මීට දින කිහිපයකට පෙර කොළඹදී පැවැති ජනමාධ්‍යවේදීන්ගේ සුහද හමුවකදී ද රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පවසා තිබුණේ තමාට මාරක අපල තිබෙන බවට ජෝතිෂවේදියකු පැවසූ බවයි.

එහෙත් කලකට පෙර සිය හඳහන බැලූ හිතවත් ජෝතිෂවේදියකු තමා ගහේ ගලේ ගැහුවත් මරන්නට බැරි යැයි පැවසූ කතාව ද ඔවුන් හමුවේ පවසා තිබෙනවා.

“මම වැඩි කාලයක් ජීවත් වෙන්නෙ නැහැ කියලා ජෝතිෂවේදියෝ දෙන්නෙක්ම කියලා තියෙනවා. මම දේශපාලනය නිසා මැරෙන්න ගිහින් බේරිලත් තියෙනවා. ඒත් මම අදටත් ජීවත් වෙනවා. දේශපාලනයත් කරනවා. ඒත් මේ කතා නිසා පවුලේ ඥාතීන් කියනවා මට දේශපාලනයෙන් අයින් වෙන්න කියලා.” සනත් නිශාන්ත ඇමැතිවරයා එහිදී එසේ ද පවසා තිබෙනවා.

සිය ජීවිතයත් මරණයත් ගැන ජෝතිෂවේදීන් පැවසූ අනාවැකි බරපතළ ලෙස සිතට නොගත්ත ද ඔහු සිය බිරියත් දරුවන් සිව්දෙනාගේ ජීවිතවල සුරක්ෂිතතාව ගැනත් සුවපහසුව ගැනත් නිතර කල්පනා කළේය.

ඒ නිසාම ඔහු සිය මාධ්‍ය ලේකම්, ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ‍ෙව්දී පී.සී. හෙට්ටිආරච්චිට මීට ටික කලකට පෙර යම් දෙයක් කියා තිබිණ.

“දේශපාලනය නිසා සමහර විට මටත් ද.මු. දිසානායක ඇමැතිතුමාට වෙච්ච දේ වෙන්න පුළුවන්. මම නැතිවුණත් මගේ නෝනටයි දරුවන්ටයි කරදරයක් නැතිව ජීවත් වෙන්න ඕන නිසා තමයි මම බිස්නස් පටන් ගත්තේ. කොහොමටත් මම අවුරුදු හැටේදී දේශපාලනයෙන් සමුගන්නවා. මට තව තියෙන්නෙ අවුරුදු 12යි.”

එහෙත් දෛවය ඔහුට අවුරුදු 12ක් ඉතිරි කළේ නැත. ඉකුත් 25 වැනිදා අලුයම 2.30ට පමණ හලාවත සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා රැගත් සුඛෝපබෝගී ජීප්රිය කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ 11 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී මාරක අනතුරකට ලක් වුණා.

ඒ, එම දෙසටම ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක ගැටීමෙනි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබීම හේතුවෙන් ඇමැතිවරයා ජීවිතය හැර ගිය අතර, ඒ වන විට ඔහු සිය ජීවිත ගමනේ 48 වැනි වියේ පසු වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: