hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 15, පෙ.ව. 10:29



“මහත්තයා ඉන්ධන ලබා ගැනීම සදහා දින 04ක් පමණ තෙල් පෝලිමේ හිටියා. ඒවන විට ඔහුට කැස්ස ගතියක් තිබුනා. මහත්තයා මහනුවර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කිරිම සදහා කරාපිටිය රෝහලට මාරු කළා. ඔහුගේ පෙනහලුවලට විෂබිජයක් ගිහින් තියෙනවා කියලා කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කිව්වේ.”යැයි  පෙනහලුවලට විෂබිජයක් ආසාදනය වීමෙන් ඇති වූ නිව්මෝනියා තත්වයකින් මිය ගිය වෛද්‍යවරයාගේ මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් ඔහුගේ බිරිද වන හේරත් මුදියන්සේලාගේ සජීවා තරුෂි හේරත් මහත්මිය සඳහන් කළා.

මිය ගොස් ඇත්තේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහලේ සේවය කරමින් සිටි තෙන්නකොන් මුදියන්සේලාගේ චින්තක දිපාල් අමරසුරිය නැමති හාලිඇළ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙක්.

මියගිය වෛද්‍යවරයාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් ඊයේ (14) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදු කරනු ලැබුවා.

එහිදි සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂි දෙමින් මෙසේ ද සඳහන් කළා.

“මියගොස් සිටින්නේ මගේ සැමියායි. මම කථන හා භාෂා චිකිත්සකවරියක් ලෙස රැකියාව කරනවා. අපි නුවර පදිංචි වෙලා හිටියේ. මහත්තයා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සේවය කළා. අපි පදිංචි වෙලා සිටි ස්ථානයේ සිට  රෝහලට කිලෝමිටර් දෙකහමාරක් පමණ ඇති. අපි විවාහ වෙලා අවුරුදු දෙකක් පමණ වෙනවා. මහත්තයා වෛද්‍ය වෘත්තියට ගිහින් වසර දෙකක් පමණ වෙනවා. අපිට අවුරුද්දක් වයස පුතෙක් ඉන්නවා. මහත්තයාට කිසිදු අසනිපයක් තිබුණේ නැහැ. මහත්තයාට පසුගිය පෙබරවාරි මාසයේ කොවිඩි රෝගය වැළදිලා සනීප වුනා. ජූනි මාසයේ 25 වැනිදා පුතාට වෛරස් උණක් හැදුනා. ඊට පසු අපි දෙදෙනාටත් හැදුනා. අපේ අයියාට හා අක්කලාට උණ හැදිලා සනීප වුනා. උණ රෝගයට මහත්තයා තමයි බෙහෙත් දුන්නේ. මහත්තයාට තදින් උණ හැදුණේ නැහැ. ඊට පසු රැකියාවටත්  ගියා. මහත්තයාට උණ වැළදුණු දින හවස ඔහු ඉන්ධන පෝලිමට ගිහින් දින දෙකක් හිටියා. මහත්තයා නිවාඩුවට පිට හිටියේ. නැවතත් තෙල් පෝලිමට ගිහින් දින 02ක් තෙල් පෝලිමේ හිටියා.

ජුලි මාසයේ 03, 04 මහත්තයා එක දිගට වැඩ කළා.ඒ වන විට මහත්තයාට කැස්ස ගතියක් තිබුනා. කැස්සට ප්‍රථිකාර ගත්තද අඩුවක් වුනේ නැහැ. 05 වැනිදා මහත්තයා පේරාදෙණිය රෝහලට ගිහින් පෙන්නුවා එදින රෝහලේ නතර කර ගත්තා. එදිනම නුවර රෝහලට මහත්තයා මාරුකොට යැව්වා. නුවර රෝහලේ  ප්‍රථිකාර ලබමින්  සිටියදි මහත්තයා කරාපිටිය රෝහලට මාරු කළා. එක්මෝයන්ත්‍රයට සම්බන්ධ කරන්න තමයි කරාපිටිය රෝහලට මාරු කළේ. නුවර රෝහලින් කිව්වා මහත්තයාගේ පෙනහලු නරක්වෙලා වගේ ඒනිසා කරාපිටිය රෝහලට මාරුකොට යවන බව. කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කිව්වා රෝගියාගේ තත්වය ටිකක් අමාරුයි පෙනහලුවලට විෂබිජ  ගිහින් කියලා.14 වැනිදින උදෑසන 7.30ට විතර මහත්තයා මිය ගියා.”

ගාල්ල – ලලිත් චාමින්ද