hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 09, පෙ.ව. 12:04



සිය පෙම්වතියගේ නිවෙසට ඇගේ පියාගේ කැඳවීමකට අනුව පසුගිය 22 වැනිදා ගිය මොහො‍ෙත් සිට අතුරුදන්ව සිටි කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තරුණයාව දෑත් දෙපා බැඳ මෝටර් රථයක දමාගෙන මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ගෙල මිරිකා මරා දැමූ බව අත්අඩංගුවට ගත් පෙම්වතියගේ මාමා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කළ හෙළි කිරීම් මත තරුණයාගේ මළ සිරුර 07 පෙරවරුවේදී කුලියාපිටිය පොලිසිය මඟින් සොයා ගනු ලැබිණි.

තරුණයා ඝාතනය වී ඒ වන විට සති දෙකකට වැඩි කාලයක් ගතවී ඇති බැවින් හඳුනා ගැනීමට නොහැකි ලෙස සිරුර නරක් වී තිබී ඇත. රක්ෂිතයේ ඇති විශාල මහෝගනී ගසක් මුල සිරුර තිබී හමුවූ බව පොලිසිය සඳහන් කළේය. සිරුර තිබී ඇත්තේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර 150ක් පමණ කැලෑවට වන්නටය.

ඝාතනය වූ තරුණයාගේ පෙම්වතියගේ පියා වන සිඟිති නමැත්තාත් සිඟිතිගේ සහෝදරියගේ සැමියා වන පෙම්වතියගේ මාමාත් වැලිමඩ කැප්පෙටිපොළින් අත්අඩංගුවට ගත් වඩු කාර්මිකයන් දෙදෙනාත් එක්ව මෙම ඝාතනය සිදු කර ඇතැයි විමර්ශනවලින් මේ වන විට හෙළි වී තිබේ.

තරුණයාව පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන යෑමට මඟ කියා ඇත්තේ වැලිමඩින් අත්අඩංගුවට ගත් වඩු කාර්මිකයන් දෙදෙනා බවත් ඔවුන් දෙදෙනා කාලයක් මාදම්පේ පිහිටි වඩු මඩුවක සේවයේ නිරතව සිට ඇති බැවින් මෙම රක්ෂිතය ගැන තොරතුරු දැන සිට ඇති බවත් විමර්ශනවලින් හෙළි වී ඇත.

එම වඩු කාර්මිකයන් දෙදෙනා පසුගිය සතියේදී පොලිසිය විසින් දුරකතන ජාල විමර්ශනයක් ඔස්සේ හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබිණි. එහිදී ඔවුන් පවසා තිබුණේ තරුණයාට සිදුවූයේ කුමක්දැයි තමන් කිසිවක් නොදන්නා බවය.

සිඟිතිගේ දියණියගේ පෙම්වතා නිවෙසට ගෙන්වාගෙන දියණිය ගැබිනියක් බවට පත්වීම ගැන ප්‍රශ්න කර අත් බැඳ ඔහුව සිඟිතිගේ මහ ගෙදරට රැගෙන ගොස් වැසිකිළියේ සිර කර තැබූ බවත් පසුව තමන් බස් රථයකට ගොඩ කර ගමේ යන ලෙස සිඟිති පැවසූ බවත් ඉන් එහාට කිසිවක් තමන් නොදන්නා බවත් ඔවුන් විසින් පවසා තිබිණි.

මෙම අපරාධය වසන් කිරීමේ අපේක්ෂාව ඇතිව දේශපාලනඥයන් කිහිපදෙනකුගෙන් මෙන්ම විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ද නීති උපදෙස් ඇතිව සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නමැති ප්‍රධාන සැකකරු සිය බිරිය වන දිලානි ශානිකා සමඟ කුලියාපිටිය අධිකරණයට භාරවීමෙන් අනතුරුව කුලියාපිටිය පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස සිඟිතිගේ මස්සිනා වන ජයසිංහ දොන් චාරුක දේවින්ද ජයසිංහ (34) නමැති අය අත්අඩංගුවට ගැනීමට හැකි වීම තරුණයාගේ මළ සිරුර සොයා ගැනීමට ඉවහල් වී තිබේ.

නීතිඥවරුන් ද වන වයඹ පළාතේ හිටපු ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති සිඟිති ඒ අයගේ ද උපදෙස් මත පසුගිය දිනවල කටයුතු කර ඇති බවට සැක කරන තොරතුරු රැසක් විමර්ශන නිලධාරීන්ට ලැබී තිබිණි.

ඒ ගැන තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි. ඒ අතර පෙරේදා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු විමර්ශන කණ්ඩායම් වෙත දැනුම් දී තිබී ඇත්තේ සිඟිති පොලිසියට භාරවීමට සූදානමින් සිටින බවය. එහෙත් අවසානයේදී සිදුව තිබුණේ වංගුවක් ගසා සිඟිති අධිකරණයට භාරකරවීමය.

ඒ වන විට තරුණයාට සිදුවූ කිසිවක් අනාවරණය වී නොතිබුණු බැවින් අධිකරණයෙන් ඇප ඔවුන්ට ලබා දුන්නද ජාතික හැඳුනුම්පත් නැතිකම හා ඇප ලබාදීමට කිසිවකුත් ඉදිරිපත් නොවීම යන කරුණු මත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය කටයුතු කළේය. මෙසේ ඔවුන් බන්ධනාගාරගත වූයේ සැලසුමකට අනුව බව පොලිසිය පාර්ශ්වයෙන් සඳහන් කළේය.

මේ තත්ත්වය මත පොලිසිය සිඟිති සහ ඔහුගේ පවුලට සම්බන්ධකම් ඇති කුරණ පදිංචි හමුදා සෙබළකු පස්සේ ද පන්නමින් සිටියේය. සිඟිතිගේ මස්සිනා කොටුවී ඇත්තේ ඒ අතරතුරදීය. දීර්ඝ ලෙස කරනු ලැබූ ප්‍රශ්න කිරීම් හමුවේ චාරුක දේවින්ද ජයසිංහ නමැති ඔහු පවසා ඇත්තේ කුලියට ගත් රතු පැහැති ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයේ තරුණයාව දමාගෙන පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් පහරදී මරා දැමූ බවය.

වඩු කාර්මිකයන් දෙදෙනාත් සමඟ තමාත් සිඟිතිත් රක්ෂිතයට ගිය බවත් තරුණයාව සිඟිතිගේ මහ ගෙදරට රැගෙන ගොස් වැසිකිළියේ සිර කරගෙන සිටියේ නැති බවත් චාරුක දේවින්ද ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

සිය දියණිය ගැබිනියක් බවට පත්ව ඇති බැවින් ඇයව විවාහ කරගෙන දරුවා භාර ගතයුතු බව සිඟිති පැවසූ විට එම දරුවා තමාගේ දරුවකු නොවන බව පැවසීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වූ බව ද චාරුක දේවින්ද පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. සිය දියණියගේ කුස තුළ සිටින දරුවාගේ පියා තමා නොවන බව පැවසීම හේතුවෙන් උරණ වී පහර කිහිපයක් එල්ල කර තරුණයාව ගැටගැසූ බවත් දියණියව භාර ගන්නේදැයි නැවත නැවත ප්‍රශ්න කළත් ඔහු ඊට එකඟ නොවූ බව ද චාරුක දේවින්ද ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

තරුණයාව මෝටර් රථයේ පිටුපස මැද හිඳුවාගෙන පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් ඇත්තේ දෑස් බැඳ බව ද චාරුක දේවින්දගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී තිබේ.

දියණිය භාර ගන්නේ නම් අතහැර දමන බව කීවත් ඔහු එය පිළි නොගැනීම හේතුවෙන් අවසානයේදී පහරදී දෑත් බැඳ තිබුණු ලණුවෙන්ම ගෙල සිර කර මරා දැමූ බව ද චාරුක දේවින්ද පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

සුසිත් ජයවංශ නමැති 31 හැවිරිදි මෙම තරුණයාගේ පෙම්වතිය අවුරුදු 17ක් වයසැතිය. මෙම තරුණයා පෙම්වතියගේ පියා වන සිඟිති සමඟ මත්පැන් පෙරීමේ ජාවාරමකට ද කලක් සම්බන්ධව කටයුතු කර ඇති අයකු බව පොලිසිය කියයි. ඒ කාලය තුළ සිඟිතිගේ පවුලේ සමීපතියක් සමඟ මෙම තරුණයා අනියම් සම්බන්ධයක් ඇති කර ගැනීම හේතුවෙන් ඔහුව නීති විරෝධී මත්පැන් ජාවාරමෙන් ඈත් කර ඇති බව ද පොලිසිය සොයාගෙන ඇත.

සිඟිතිගේ දියණිය සමඟ ඔහු පෙමින් වෙළී ඇත්තේ ඉන් අනතුරුවය. මෙම තරුණයා විවාහකයකු වන අතර එම විවාහය ද කැඩී ගිය එකක් බව පැවසේ. ඒ අතරතුර ඔහු තවත් තරුණියක ඇසුරු කර ඇති බවත් ඇය ගැබිනියක් වූ පසු ගබ්සාවකට ලක්කර ඇති බවට තොරතුරු ද ඇති බවත් පොලිසිය කියයි.

සිඟිතිගේ දියණිය මාස දෙකක ගැබිනියක බවත් ඇය ගැබිනියක් බව පවුලේ අය දැනගෙන ඇත්තේ තරුණයාගේ අතුරුදන් වීමට සතියකට දෙකකට පෙර බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. තරුණයාගේ අතුරුදන්වීමට මුල්වන කරුණු ගොඩනැඟී ඇත්තේ ඒත් සමඟිනි.

තරුණයාගේ අතුරුදන් වීම ගැන 22 වැනිදාම ඔහුගේ මව වන ඉන්ද්‍රානි විජේලතා විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව පොලිස් පරීක්ෂණ ද ආරම්භ වී ඇත. තරුණයාව පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් අනතුරක් සිදුකර ඇති බව ඉකුත් සිකුරාදා වන විට පොලිසියට සැක මතු වී තිබිණි.

ඒ රතු පැහැති ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයේ ගමන් මඟ ගැන ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. පසුගිය සිකුරාදා පොලිසිය රක්ෂිතය තුළ පොලිස් නිල සුනඛයන්ද යොදා මෙහෙයුමක් දියත් කළ ද එය සාර්ථක නොවන්නේ හෙක්ටයාර 359ක් වූ එම රක්ෂිතය පීරමින් පරීක්ෂා කිරීම පහසු කටයුත්තක් නොවූ බැවිනි. නමුත් අවසානයේදී තරුණයාගේ සිරුර සොයා ගන්නේ ද පොලිසිය අපේක්ෂා කළ පරිදි පනිරෙන්ඩාව රක්ෂිතය තුළදීමය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව තරුණයාගේ සිරුර හලාවත රෝහලට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් ඇත. සැබෑ ලෙසම තරුණයාගේ මරණය සිදුව ඇත්තේ කෙසේදැයි අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු කර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

තරුණයාව මරා දැමීමෙන් පසු සිඟිතිගේ අණින් නිවෙසේ සිටි පිරිස අතට හසුවන ඇඳුම් කඩමළු බෑග්වල දමාගෙන පලාගොස් ඇත්තේ මීගමුවටය. ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය එය කුලියට ගත් ස්ථානයටම භාරදී පවුලටම ගමන් කිරීමට හැකි ආකාරයේ කුඩා වෑන් රථයක් නැවතත් කුලියට ගෙන ඇත්තේද චාරික දේවින්ද නමැති අත්අඩංගුවට ගත් මෙම සැකකරු විසින්මය.

මීගමුව කුරණ ප්‍රදේශයේ යම් ස්ථානයක දින කිහිපයක් ගතකර ඇති ඔවුන් අනතුරුව දිඹුලාගල ගොස් එහි සැඟවී සිට ඇති බවට තොරතුරු ද මේ වන විට අනාවරණය වී ඇත. දිඹුලාගල සැඟවී ඇත්තේ නිදන් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයකු සමඟ සිඟිතිට තිබුණු සම්බන්ධයක් මත යැයි ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: