hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:15



2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගෙන තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙසේ රන් පදක්කමක් දිනා ගෙන ඇත්තේ වසර 21කට පසුව බවයි වාර්තා වන්නේ.

රත්නායක විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන තරුෂි කරුණාරත්න මෙම දක්ෂතාව දක්වන්නේ 2002 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මළල ක්‍රීඩාවෙන් රන් පදකක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන් සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාගෙන් පසුවයි.

මීටර 800 කාන්තා ඉසව්වේදී තරුෂි කරුණාරත්න මිනිත්තු 2.03:20 ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වුණා.

තරුෂි ගැන හැමෝම කතා කරනවනෙ.

හැබැයි ඇයව මේ තත්වයෙන් ඔසවා තැබූ ඇයගේ ගුරුවරයා ගැන ගොඩ දෙනෙක් දන්නේ නැහැ.

මේ ඔහු ගැන ෆේස්බුක් සමාජ ජාලාහී තබා තිබූ සටහනක්.

වැඩිදෙනෙක් නොදන්න, නමුත් දැන ගත යුතු රටට රන් හැදූ රන් ගුරුවරයා.. සුසන්ත ප්‍රනාන්දු..

අද ලංකාව රනින් සැරසූ දියණිය තරුෂිගෙ පාසැල නුවර මැණික්හින්න ගමේ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය..

රටේ මිනිස්සු බොහෝ දෙනෙක්ට නුහුරු උනාට ලංකාවේ පාසැල් මළල ක්‍රීඩාව ගැන දන්න ඕනෑ කෙනෙක් හොඳට අහලා තියෙන නමක් තමයි වලල ඉස්කෝලෙ. නැත්නම් අද ලංකාවේ මළල ක්‍රීඩාවෙ ක්‍රීඩක ක්‍රීඩිකා ලොකුම නිශ්පාදනාගාරය තමයි මේ දුම්බර මිටියාවතේ අභිමානය.

90 දශකයේ මැදභාගයේ ඉදල ජාතික මට්ටමේ වැඩ පෙන්වපු වලල සෙට් එක 2000න් පස්සේ කාටවත් ලංවෙන්න බැරි තරමට ලාංකීය පාසල් මළල ක්‍රීඩාවෙ අනසක පතුරවනවා. සමහර තරගාවලිවල මීටර් 400, මීටර් 400×4, මීටර් 800 වගේ ඉසව් සියල්ල පහසුවෙන් ජය ගත්තෙ මේ වලල සෙට් එක. සමහර ඉසව් වලලට ලියලා දීලා වගේ තිබුණේ. සමහර අවස්ථාවල පදක්කම් තුනම දිනන්නෙ වලල. සෙසු පාසැල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවො නම් අකමැතිම නම උනෙත් වලල.

නම් දැරූ පාසැල් පිරුණු මහනුවර නගරයෙන් පිට ගමක කඳු මිටියාවතක පිහිටි වලල ඉස්කෝලෙ කොහොමද මේ තරම් වැඩකාරයෝ හැදුවේ කියලා පුදුමත් හිතෙනවා ඇති. ඒ සුසන්ත ප්‍රනාන්දු ගැන නොදන්න නිසා. ඔහු තමයි වලල මළල ක්‍රීඩාවෙ මහා නිමැවුම්කරු. අද රටට රන් පදක්කම ගෙනාපු තරුෂිගේ ගුරුවරයාත් ඔහුයි.

මම සුසන්ත ප්‍රනාන්දු ගැන කාලෙකට පෙර දැන ගන්නෙ අපේ ඉස්කෝලෙ FB පේජ් එකකින්. ඔහු කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වගේම ආනාව හැදූ දක්ෂ ක්‍රීඩකයෙක්. පාසැලෙන් පස්සේ බණ්ඩාරවෙල අධ්‍යාපන විද්‍යා පීඨයෙන් ක්‍රීඩා ගුරුවරයෙක් ලෙස එලියට එන සුසන්ත සර් සිය දෙවනි පත්වීම ලෙස වලලට එන්නෙ 1990 දි.

එතකොට වලල කුඩා ක්‍රීඩාපිටියක් තිබුණු සාමාන්‍ය පාසලක්ලු. සුසන්ත සර් 1990 දි ජාතික පාසැල් මළල ක්‍රීඩා තරඟාවලියට එන්නෙ එක ක්‍රීඩකයෙක් එක්ක. නමුත් මේ අපූරු මනුස්සයා අවුරුදු තුන හතරක් ඇතුලත මහනුවර ප්‍රබල බාලක බාලිකා පාසැල් පරාජය කරන්නට සමත් වැඩ්ඩො ටිකක් දුම්බර මිටියාවතෙන් බිහි කරනවා පමණක් නෙවෙයි ලංකාවේ පළමු ක්‍රීඩා පාසැල වලල විද්‍යාලයේ පිහිටුවන්නත් පුරෝගාමී භූමිකාවකට පණ දෙනවා. ඒ ආපු ගමන තමයි දශකයක් යනකොට රටම අභිබවා ගිහින් අද වෙනකොට ආසියාවම අභිබවා යන්නෙ.

ඔහු ගමේ කොල්ලො කෙල්ලො ටිකත් එක්ක අවුරුදු 33ක් තිස්සේ මේ ආපු ගමන බොහොම දුශ්කර එකක් බව ලංකාවේ අපිට අමුතුවෙන් කියන්න ඕනැ එකක් නෙවි. බොහෝ කටු කාගෙන ඔවුන් සෑහෙන්න දුරක් පැමිණ තිබෙනවා. කොටින්ම අදටත් දන්න තරමට වලල ඉස්කෝලෙ තියෙන්නෙ මීටර් 200 ප්‍රාථමික ට්‍රැක් එකක්. ලංකාවේ ඉහළින් නම රැන්දූ පාසැලකට පවා දෙන්න පුළුවන් පහසුකම් ටික පවා ලබා දෙන්න අපේ පාලකයන්ට අවශ්‍යතාවයක් නැති එක ගැනත් පුදුම වෙන්න දෙයක් නෑ.

එවැනි කටුක මාවතක සුසන්ත සර් පෙන්වපු පාරෙ ආපු තරුෂි මීටර් 800 ජාතික ශූරිය වෙනකොට එම ඉසව්වේ ජාතික ශූරයා වෙන්නෙ ඇගේ අයියා හර්ෂ. ඒ වලලින් බිහිවෙච්ච ඩිල්ෂි, ශෙහාන්, සෙනිර, ඉඳුනිල්, මධුශංඛ වැනි ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ ජවන හා පිටිය වැඩ්ඩන් සිය ගණනකින් දෙන්නෙක් පමණයි. ඔවුන් මෙතෙක් දිනපු ජාතික ශුරතා, ජාතික පාසැල් ශූරතා ප්‍රමාණය සිය ගණනක්.

තරුෂිගෙ පදක්කම් සමග මුළු රටේම අවධානය යොමු වෙලා තියෙන මේ වෙලාව තරම් සුදුසු වෙලාවක් තවත් නෑ මේ ජයග්‍රහණ පිටිපස්සේ නිහඩව බලා ඉන්න සුසන්ත සර්ව සිහිපත් කරන්න. නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් (ක්‍රීඩා) ලෙසත්, තවමත් වලල ඉස්කෝලෙ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු ලෙසත් තම රාජකාරීය දේවකාරියක් ලෙස ඉටු කරමින් ඉන්න නිහඩ වීරයා, සුසන්ත ප්‍රනාන්දු යනු වලලට පමණක් නොව අද රටටම සම්පතක් වෙලා අවසන්.

මේ කෙටි සටහන වලල කොල්ලන් කෙල්ලන්ගෙ ‘අපේ සර්’ නම් ඒ අපූරු මිනිසාට උපහාරයක්ම වේවා..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: