hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 04, ප.ව. 10:39



2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගෙන තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙසේ රන් පදක්කමක් දිනා ගෙන ඇත්තේ වසර 21කට පසුව බවයි වාර්තා වන්නේ.

රත්නායක විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන තරුෂි කරුණාරත්න මෙම දක්ෂතාව දක්වන්නේ 2002 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මළල ක්‍රීඩාවෙන් රන් පදකක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන් සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාගෙන් පසුවයි.

මීටර 800 කාන්තා ඉසව්වේදී තරුෂි කරුණාරත්න මිනිත්තු 2.03:20 ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වුණා.

කරුණාරත්නගේ කැපී පෙනෙන දස්කම් නිසා ඉන්දියාවේ බෙයින්ස් හර්මිලන් සහ චීනයේ වැන්ග් චුන්යූ ඇතුළු ප්‍රබල ප්‍රතිවාදීන් පරාජය කිරීමට ඇය සමත් වූවා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාව සිය දක්ෂතා, විඳදරාගැනීම සහ කෙටි දුර ධාවන දස්කම් ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

තරුෂි කරුණාරත්න ඊයේ (ජූනි 04) පැවැති කාන්තා මීටර 400 ඉසව්වෙන් ද රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් වුණා.

එහිදී ඇය එම පදක්කම හිමිකර ගත්තේ තත්පර 53.70කින් තරගය නිමා කරමින්.

2004 වසරේ නොවැම්බර් මස 28 වෙනිදා කහටගස්දිගිලිය ප්‍රදේශයේ උපත ලැබූ තරුෂි කරුණාරත්න වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයයේ ඉගෙනුම ලබයි.

ඇය මීටර් 400 සහ මීටර් 800 ධාවන ඉසව් සඳහා තරග වැදෙන මලල ක්‍රීඩිකාවකි.

ඇය 2019 වර්ෂයේ දී පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 සහ මිටර් 800 ධාවන ඉසව්වලින් නව තරග වාර්තා තබමින් රන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වී ඇත.

2019 ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතාවලියේ මීටර් 800 ඉසව්වේ වාර්තාවට ද ඇය හිමිකම් කියන අතර, එම වසරේ මීටර් 400 සහ මීටර් 800 ඉසව් දෙකෙහිම රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

තරුෂි 2019 වසරේ පැවති මධ්‍යම පළාත් තරගාවලියේදී අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන හිමිකර ගැනීමට සමත්වූ ක්‍රීඩිකාවක්.

ඇයගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙනවා පමණක් නොව මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතියට සුවිශේෂී අවස්ථාවක් ද සනිටුහන් කරයි.

එය ශ්‍රී ලාංකේය ක්‍රීඩාව තුළ ඇති හැකියාව සහ දක්ෂතා යළි තහවුරු කරන අතර රට පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආශ්වාදයක් ලෙසද ක්‍රියා කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: